General27 July 2026

රෝගී පියා බලන්න ඇවිත් රෝහල් පොලිසියේ නිලධාරියාට පහර දී පලාගිය අයෙක් සොයා පොලිස් පරීක්ෂණ

සිය රෝගී පියා බැලීමට පැමිණි පුද්ගලයෙකු විසින් හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ රෝහල් පොලිසියේ නිලධාරියාට සහ ආරක්ෂක නිලධාරිණියකට අද (27) පස්වරුවේ පහරදී පළාගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙසේ පලා ගොස් ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයේ පුද්ගලයකු බවට අනාවරණය වී තිබෙනවා.

මෙම පුද්ගලයාගේ පියා හොරණ දිස්ත්‍රික් මහ රෝහලට අද (27) අසනීප තත්ත්වයක් මත ඇතුළත් කර ඇති අතර ඔහු මූලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා.

ඔහු බැලීම සඳහා අද (27) පස්වර‍ැවේ පැමිණ ඇති මෙම පුද්ගලයා වෛද්‍යවරයා සමඟ යම්කිසි ප්‍රශ්නයක් ඇතිකරගෙන ඇති අතර රෝහල් පොලිසියේ පොලිස් සැරයන් 51847 නිශ්ශංක නිලධාරියා විසින් ඔහුට එළියට යන ලෙස පවසා ඇතැයි අනාවරණය වී තිබෙනවා.

එම අවස්ථාවේ ඔහු විසින් මෙම නිලධාරියාගේ හිස ප්‍රදේශයට පහර දී ඇති අතර එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරිණිය මේ පිළිබඳ විමසූ අවස්ථාවේදී ඇයවද තල්ලුකර දමා පලා මෝටර් රථයකින් පළා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

එම මෝටර් රථයේ අංකයේ කොටසක් ආරක්ෂක නිලධාරිනියක් විසින් සටහන් කරගෙන ඇති බව අනාවරණය වී තිබුණා.

මේ වනවිට තුවාල ලැබූ පොලිස් නිලධාරියා මූලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය පවසනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන සිදු කරනවා.
Related recommendation
Hiru TV News | Programmes