General01 August 2026

අද රාත්‍රියේ මිලිමීටර 100ට වැඩි තද වැසි

පවතින සක්‍රීය නිරිත දිග මෝසම හේතුවෙන්, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද රාත්‍රියේදී මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට (02) දිනයේදී සබරගමුව පළා‍තෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2:00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල හෙට දිනයේදී පවතින්නේ වියළි කාලගුණික තත්ත්වයක්.

මේ අතර අද උදෑසන 8: 30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 184: 3 ලක්ෂපාන ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මේ අතර පවතින තත්ත්වය හමුවේ කැලණි ගඟ ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කෙරුණා.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගං නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වය ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes