General01 August 2026

මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණයට නව යුද හමුදාපතිත් එයි

මහර බන්ධනාගාර පරිශ්‍රයේ හටගෙන ඇති උණුසුම්කාරී තත්ත්වය සහ පවතින ආරක්ෂක මෙහෙයුම් නිරීක්ෂණය කිරීම සඳහා නව යුද හමුදාපතිවරයා ද මීට මොහොතකට පෙර එම ස්ථානයට පැමිණි බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

එමෙන්ම, තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 (Bell 412) හෙලිකොප්ටර් යානයක් සහ ඩ්‍රෝන යානා යොදවා ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මහර බන්ධනාගාරය තුළ අද (01) පස්වරුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබුණා.

රැඳවියන්ගේ සුවදුක් විමසීම සඳහා ඥාතීන් පිරිසක් පැමිණි අවස්ථාවේ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පිටතට ගල්මුල් විසි කිරීමත් සමග මෙම තත්ත්වය මතුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සමග පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය හා කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබුණා.

උණුසුම්කාරී තත්ත්වය අතරතුර රැඳවියන් පිරිසක් බන්ධනාගාර පරිශ්‍රය තුළ පිහිටි ගොඩනැගිල්ලකටද ගිනි තබා තිබුණා.

එමෙන්ම සිරකරු ලියාපදිංචි අංශය , ප්‍රධාන ජේලර් කාර්යාලය ඇතුළු බන්ධනාගාරයේ ස්ථාන කිහිපයකට අලාභ හානි සිදුව ඇති බව ද වාර්තා වනවා.

මෙම නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර තුවාල ලැබූ 7 දෙනෙකු රාගම රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes