General04 August 2026

යෝජිත අල්ලස් පනත් සංශෝධනයට ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි කනස්සල්ල

යෝජිත අල්ලස් හෝ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

අද (04) නිකුත් කළ නිවේදනයකින් ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙන්නේ, යෝජිත සංශෝධන මගින් අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධ ඇතැම් වැරදි සඳහා දැඩි ඇප කොන්දේසි හඳුන්වාදීම හේතුවෙන් පුද්ගල මූලික අයිතිවාසිකම්වලට බලපෑම් එල්ල විය හැකි අතර, දැනටමත් අධික තදබදයකින් පෙළෙන බන්ධනාගාර පද්ධතිය තවදුරටත් පීඩනයට ලක්විය හැකි බවයි.

නිවේදනයේ දැක්වෙන්නේ, රුපියල් ලක්ෂයකට නොඅඩු අල්ලසක් ඉල්ලීම, ලබා ගැනීම හෝ රුපියල් ලක්ෂ පහකට නොඅඩු පාඩුවක් හෝ වාසියක් සම්බන්ධ චෝදනා යටතේ සැකකරුවන්ට සාමාන්‍යයෙන් ඇප ලබාදීම සීමා වන පරිදි පනත සංශෝධනය කිරීමට යෝජනා කර ඇති බවයි.

එමගින් අධිකරණයේ විනිශ්චය බලතල සීමා වීම මෙන්ම, වරදකරු බව ඔප්පු වන තෙක් නිවැරදිකරු ලෙස සැලකීමේ මූලධර්මයටද බලපෑම් එල්ල වන බව ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙනවා.

එමෙන්ම, යෝජිත සංශෝධන ක්‍රියාත්මක වුවහොත්, වැඩි පිරිසක් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුවන අතර, දැනටමත් අධික තදබදයකින් පවතින බන්ධනාගාරවල තත්ත්වය තවත් උග්‍ර වනු ඇති බවද එම නිවේදනයේ සඳහන්.

ඒ සඳහා උදාහරණ ලෙස, තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් දත්ත උපුටා දක්වන ඒකාබද්ධ විපක්ෂය, වැලිකඩ, කොළඹ, මැගසින් සහ මීගමුව බන්ධනාගාරවල රැඳවියන් සංඛ්‍යාව අනුමත ධාරිතාව මෙන් කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇති බව පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව, යෝජිත සංශෝධනයේ 17 වැනි වගන්තිය වහාම ඉවත් කරන ලෙස හෝ සැලකිය යුතු ලෙස සංශෝධනය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින ඒකාබද්ධ විපක්ෂය, දූෂණයට එරෙහි නීති සම්පාදනය මානව හිමිකම් ආරක්ෂා කරමින් සහ බන්ධනාගාර පද්ධතියේ සැබෑ තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිදු කළ යුතු බව අවධාරණය කරනවා.

තවද, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ඇතුළු ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගෙන් ද මෙම යෝජිත නීති සංශෝධනයේ මානව හිමිකම් බලපෑම් පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes