General06 August 2026

කොල්ලුපිටියේදී ජංගම දුරකථනයක් කොල්ලකෑ චීන ජාතිකයා රිමාන්ඩ්

ඇල්ලුවේ ජනතාවයි - පොලීසියයි

කොල්ලුපිටිය දුරකතන අළෙවි සලකට පැමිණ ජංගම දුරකථනයක් මිලදී ගන්නා මුවාවෙන් එය රැගෙන පලා යමින් සිටියදී පොලිසිය සහ මහජනතාව විසින් අල්ලා ගනු ලැබූ චීන ජාතිකයා ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (05) නියෝග කළා.

ඒ, මෙම සැකකරු ඊයේ (05) කොල්ලුපිටිය පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදීයි.

මෙම සැකකරු කොල්ලුපිටිය ලිබර්ටිප්ලාසා හි ‍ජංගම දුරකතන අලෙවි සලට පැමිණ ජංගම දුරකතනයක් මිලදී ගැනීමට බව පවසා එම දුරකතනය පිළිබඳව විනාඩිා 20ක් පමණ පරීක්ෂා කර බලමින් සිට ඇති බවත් පසුව එය රැගෙන කිලෝමීටරයකටත් වැඩි දුරකත් දිව ගොස් තිබූ බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළා.

පසුව, එම ස්ථානයේ සිටි මහජනතාව සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ සිටි පොලිස් නිලධාරියකු මෙම චීන ජාතිකයා පසුපස දිව ගොස් කොල්ලුපිටිය මංසන්ධියේදී මොහු අල්ලා ගෙන තිබූ බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

මෙම සැකකාර චීන ජාතිකයා ‍සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බවත් කුමන හේතුවක් මත මෙරටට පැමිණියාදැයි යන්නට කිසිදු හේතුවක් ඉදිරිපත් නොකරන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව එම සැකකරු කුමන හේතුවක් සම්බන්ධයෙන් මෙරටට පැමිණියාදැයි යන්න පිළිබඳවද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

කොල්ලුපිටිය පොලිසීයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිලෝගම ඇතුළු නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.
Related recommendation
Hiru TV News | Programmes