General04 August 2026

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

විශ්‍රාම වැටුපකට හිමිකම් නොමැති පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු සේවකයින්ගේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් හඳුන්වා දී ඇති 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් (EPF) පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම පනත සම්බන්ධයෙන් වන සාමාන්‍ය පරිපාලන කටයුතු කම්කරු කොමසාරිස් ජනරාල්වරයා යටතේ ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අරමුදලේ භාරකරු ලෙස කටයුතු කරනු ලබනවා.

කාලීනව පනතේ ඇතැම් ප්‍රතිපාදන සංශෝධනය කර තිබුණද, වර්තමාන සමාජ, ආර්ථික සහ තාක්ෂණික වෙනස්වීම්වලට අනුරූපව අරමුදලේ සාමාජිකයින් මුහුණ දෙන ගැටලු අවම කරමින් වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් සැලසීම සඳහා මෙම පනත තවදුරටත් සංශෝධනය කළ යුතු බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ද සැලකිල්ලට ගනිමින් කම්කරු දෙපාර්තමේන්තුව විසින් මූලික කෙටුම්පතක් සකස් කර තිබෙනවා.

එම මූලික කෙටුම්පත පදනම් කරගනිමින් සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes