General04 August 2026

හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී චම්ලි පද්මසිරිට ඇප

රජයට පාඩුවක් සිදු කිරීමේ දූෂණ චෝදනාවක් මත අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු දකුණු පළාත් සභා ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සහ හිටපු සභා නායක විතානච්චි දොන් චම්ලි පද්මලාල් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියම කළා.

දකුණු පළාත් ප්‍රධාන ලේකම් චක්‍රලේඛ (මුදල්) 3/2016 හි සඳහන් ප්‍රසම්පාදන බලතල සීමාවට පටහැනිව, දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් 2019 වර්ෂයේ මන්ත්‍රී ප්‍රතිපාදන හරහා ඇඳි රහිත ප්ලාස්ටික් පුටු පුද්ගලික සමාගමකින් රුපියල් මිලියන 16.5 කට මිල දී ගනිමින් දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නිවාස කාර්යාල වෙත බෙදාහැරීමට කටයුතු කර තිබූ බවට ඔහුට එරෙහි චෝදනා බව අල්ලස් කොමිසම සඳහන් කරනවා.

එහිදී ගාල්ල දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී චම්ලි පද්මලාල් යන අය වෙත නිකුත් කර තිබූ පුටු 305 ක් එම අය විසින් භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

පසුව 2019.04.10 දින දකුණු පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසු, (එම අයට හිමි මන්ත්‍රී ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 03 ක අත්තිකාරම් පියවීමට කටයුතු කර තිබියදී) නැවත පුටු මිල දී ගෙන ලබා දෙන ලෙස එම අය විසින් කර තිබූ ඉල්ලීමක් මත ආණ්ඩුකාරවරයාගේ ද අනුමැතියකින් තොරව නැවත ප්‍රසම්පාදන කටයුතු සිදු කර තිබූ බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණා.

ගාල්ලේ වෙනත් පුද්ගලික ආයතනයකින් ඇඳි රහිත ප්ලාස්ටික් පුටු 408 ක් මිල දී ගනිමින්, ඒවා අදාළ මන්ත්‍රීවරයාගේ නිවස වෙත ප්‍රවාහනය කරවා භාර දීමට සැලැස්වීම මඟින් රජයට මූල්‍ය පාඩුවක් සිදු කර ඇති බවට ඔහුට එඓහිව එලෙස දූෂණ චෝදනාව එල්ල වී තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes