General04 August 2026

අධිවේගී මාර්ගවල සියලුම අසුන්වලට පටි පැළඳීමේ සහන කාලය සැප්තැම්බර් 19 දක්වා දීර්ඝ කෙරේ

අධිවේගී මාර්ගවල සිදුවන මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව සහ තුවාල ලැබීම් අවම කරගැනීමේ අරමුණින්, 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහාමාර්ග) නියෝග සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවල සියලුම අසුන්වල ගමන් ගන්නා තැනැත්තන් සඳහා අසුන් පටි පැළඳීම අනිවාර්ය කරමින් මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ අදාළ නියෝග නිකුත් කරනු ලැබුවා.

නිෂ්පාදකයින් විසින් අසුන් පටි සවිකර නොමැති වාහන සඳහා අසුන් පටි විධිමත් පරිදි සවි කිරීමට හැකිවන පරිදි ලබා දී තිබූ සහන කාලසීමාව 2026-06-19 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, අදාළ පාර්ශ්වයන් විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එම සහන කාලය තවත් මාස 03කින්, එනම් 2026-09-19 දින දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව, අංක 2493/19 දරන 2026-06-17 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මගින් 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහාමාර්ග) නියෝග සංශෝධනය කර ඇති අතර, එම සංශෝධිත නියෝගය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes