General05 August 2026

දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි: ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (05) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

ඌව සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

උතුරු - මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Related recommendation
Hiru TV News | Programmes