General06 August 2026

නෝර්වුඩ් අස්වැසුම මංකොල්ලය කෝටි 1.6 ඉක්මවයි; තවත් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සොයයි

දිවයිනේ වැඩිම අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසක් සිටින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ට හිමි මුදල් වංචා කිරීමේ ජාලය රුපියල් එක්කෝටි හැටදෙලක්ෂයක් දක්වා ඉහළ ගොස් ඇති බව විගණන පරීක්ෂණවලින් හෙළිව ඇතැයි වාර්තා වෙනවා.

මෙම මුදල් වංචාවට එම කාර්යාලයේ තවත් නිලධාරීන් තිදෙනෙක් සම්බන්ධ බවට අනාවරණය වීමත් සමඟ, ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් හැටන් පොලිස් කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත අද (06) වන පැමිණිල්ලක් ගොනු කර ඇති බව පොලිසිය පවසනවා.

මීට ප්‍රථම ප්‍රාදේශීය ලේකම්වරයා කළ පැමිණිල්ලක් මත, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශ භාරව කටයුතු කළ කාන්තාවන් දෙදෙනෙක් හැටන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන හැටන් දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එම සැකකාරිනියන් දෙදෙනා මේ මස (11) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණා.

මෙම වංචාව අනාවරණය වී ඇත්තේ, අස්වැසුම දීමනාව නොලැබුණු බවට ප්‍රතිලාභීන් විසින් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් වෙත නිර්නාමිකව යොමු කරන ලද ලිපියක් පදනම් කරගෙන බවයි වාර්තා වුණේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් ලේකම්වරිය, සැකකාරිනියන් දෙදෙනා දිස්ත්‍රික්කයේම වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මාරු කර, නුවරඑලිය දිස්ත්‍රික් සහ මුදල් අමාත්‍යාංශයේ විගණන අංශවල නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා 2023 සිට 2025 දක්වා කාලය තුළ විශේෂ විගණන පරීක්ෂණයක් සිදු කර තිබූ බවයි සඳහන් වන්නේ.

විගණන නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේම රැඳී සිටිමින් අදාළ විමර්ශන තවදුරටත් සිදු කරන අතර, මේ වන විට එම කාර්යාලය යටතේ සේවය කරන සියලුම ග්‍රාම සේවා නිලධාරීන්ගේ, අස්වැසුම අංශයේ අනෙකුත් නිලධාරීන්ගේ සහ ප්‍රතිලාභීන් රැසකගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

අස්වැසුම මුදල් නොලැබීම සම්බන්ධයෙන් ප්‍රතිලාභීන් කාර්යාලයට ගොස් විමසූ අවස්ථාවේදී, "මුදල් ලැබුණා නම් ගිණුමට බැර කරනවා, ආයෙත් කාර්යාලයට නොපැමිණෙන්න" යැයි පවසමින් සැකකාරිනියන් එම ප්‍රතිලාභීන්ට තර්ජනය කර ඇති බවද විමර්ශනවලදී හෙළිව තිබුණා.

සැකකරුවන් විසින් අස්වැසුම මුදල් ඔවුන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම්වලට බැර කර, එම මුදල් ණය මුදලක් ලෙස පෞද්ගලිකව අතමාරු මඟින් ලබා දී ඇති බවත්, එම මුදල් නැවත පොලී රහිතව වාරික වශයෙන් ලබා ගත් අයගෙන් මාසිකව එකඟ වූ මුදලක් අය කරගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද පොලිසිය පැවසුවා.

මේ අතර, නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10 කම අස්වැසුම, දිවිනැඟුම සහනාධාර, සමෘද්ධි දීමනා, කොරෝනා ව්‍යසන සමයේ රජය ලබා දුන් රු. 5,000 දීමනාව ඇතුළු ප්‍රතිලාභ නිසි ලෙස ගෙවා ඇද්ද යන්න සොයා බැලීම සඳහා විශේෂ විගණන කණ්ඩායමක් පත් කිරීමට කටයුතු කරමින් සිටින බව නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවිරආරච්චි ප්‍රකාශ කළා.
Related recommendation
Hiru TV News | Programmes