General13 August 2026

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අත්‍යාවශ්‍යයයි. : ඒකාබද්ධ විපක්ෂයෙන් දීර්ඝ ලිපියක්

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනමත විචාරණයක ඇති නෛතික අවශ්‍යාතාව සම්බන්ධයෙන් දැනුවත් කරමින් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ගේ අත්සනින් යුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති ජනතාවගේ පරමාධිපත්යයට යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් බලපෑමක් ඇති වන බැවින් ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය බවයි.

එමෙන්ම, අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකින් ජනතාව වෙත ඉදිරිපත් කිරීමට අදහස් කරන බව අමාත්‍ය මණ්ඩලය තුලින් සහතික කරන ලෙසත් ඔවුන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියෙන් ඉල්ලා සිටිනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) වැනි වගන්තිය සඳහා යෝජනා කර ඇති සංශෝධන මගින් අපේක්ෂිත මූලික වෙනස්කම් පිළිබඳව ජනතා කැමැත්ත විමසා බැලීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය බව එහි දැක්වෙනවා.

ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි පරිච්ඡේදයේ විධිවිධාන මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර ලබාදී තිබූ තීන්දු කිහිපයක්ද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ක්‍රියාමාර්ගයේ සෘජු ප්‍රතිලාභියා වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම මේ කරුණ සලකා බැලීමද ගැටලු සහගත බවයි එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

මෙම කරුණ තීරණය කිරීමේ බලය ජනතාවගෙන් පැහැර ගැනීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති ජනතා පරමාධිපත්‍ය උල්ලංඝණය වන බවට ද ඔවුන් සිය ලිපියෙන් කරුණු දක්වා තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes