General18 August 2026

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි: ප්‍රදේශ රැසකට තද සුළං

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (18) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එසේම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු - මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Related recommendation
Hiru TV News | Programmes