General18 August 2026

පුද්ගලයන් පස්දෙනෙක් ඝාතනය කළැයි පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් තවදුරටත් රිමාන්ඩ්

නැගෙනහිර පළාතේ කල්අඩි, කාත්තන්කුඩි සහ කන්නන්කුඩා යන ප්‍රදේශවලදී පුද්ගලයන් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන්ට අදාලව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' ඇතුළු දෙදෙනෙක් ලබන (01) වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව වැඩබලන මහේස්ත්‍රාත් මධුජලා කේතීස්වරන් අද (18) නියෝග කළා.

මෙම සිද්ධියේ තෙවැනි සැකකරු ලෙස නම් කර සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' යන අය ඇතුළු දෙදෙනකු අද (18) ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් වුණා.

මෙම ඝාතන සිද්ධියට අදාල පළමු සැකකරු මේ වන විට මෙරටින් පලා ගොස් ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණා.

පොලිස් තොරතුරුවලට අනුව, පළමු සිදුවීම වාර්තා වන්නේ ඉකුත් 2008 ජනවාරි 09 වැනිදායි. ඒ, කල්අඩි ප්‍රදේශයේ මුරුගන් කෝවිල අසල ක්‍රීඩාංගණයේදී ටී-56 ගිනිඅවියකින් වෙඩි තබා හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමයි.

මෙම සැකකරුවන් විසින් ඉකුත් 2008 මැයි 22 වනදා කාත්තන්කුඩි පොලිස් වසමේ ප්‍රධාන වීදියේදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර, ඉකුත් 2008 අගෝස්තු 20 වැනිදා රාත්‍රී කාලයේදී වව්නතිවු පොලිස් වසමට අයත් කොන්තියාපොල, කන්නන්කුඩා ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම අපරාධයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් තිදෙනෙකු නම් කර ඇති අතර ඉන් පළමු සැකකරු මේ වන විට විදේශගතව සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින පුද්ගලයා ඉකුත් 2025 අගෝස්තු 13 වැනිදා සහ 2025 නොවැම්බර් 13 වනදා සිට පිළිවෙළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගනිමින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

මෙම පංච පුද්ගල ඝාතන සිද්ධීන්වල තුන්වන සැකකරු ලෙස නම් කර සිටින්නේ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' නමැත්තායි.

මඩකලපුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ද හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් යන අය රක්ෂිත භාරයේ පසුවෙයි. මෙම සිද්ධියට අදලව නිතිපතිවරයා මොහුට එරෙහිව අධිචෝදනා ගොනු කරනු ලැබ තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes