General18 August 2026

සඳගල පුරාවස්තු සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළියට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (18) නියෝග කළා.

මීට අමතරව, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක්ද අධිකරණය විසින් පැණවූවා.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් අධිකරණය, මෙම ඇප නියෝගය ලබා දුන්නා.

රටේ වැදගත් පුරාවස්තුවක් වන සඳගල පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධියට අදාලව පැවැත්වෙන විමර්ශනයක් සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

මෙම නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර ඇති හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, කුණ්ඩසාලේ උඩමළුව පුරා විද්‍යා භූමියෙහි පිහිටි මහනුවර රාජධානියට අයත් සිංහල රාජවංශයේ අවසන් රජු වන ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ මාලිගයේ පිවිසුම් පියගැටපෙළ අඩංගු ඓතිහාසික පුරාවස්තු වටිනාකමකින් යුතු සඳගල නම් පුරාවස්තුව සොරකම් කිරීමට අදාළව සිදු කරන ලද විමර්ශනය නිසි පරිදි සිදු නොකිරීමට බලපෑම් කිරීම තුළින් දූෂණය නැමති වරද සිදු කිරීම, ඊට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය යන වැරදි සිදු කර ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes