International20 August 2026

පාකිස්ථානයේ වැටලීමකින් චීන ජාතිකයන් ඇතුළු විදේශිකයන් 258ක් අත්අඩංගුවට

පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි පිහිටි, වංචනික ක්‍රියාකාරකම් සිදු කරන බවට සැක කෙරෙන 'ඇමතුම් මධ්‍යස්ථානයක්' (scam call center) වැටලීමෙන් පසු චීන ජාතිකයන් 40 දෙනෙකු ඇතුළු විදේශිකයන් 258 දෙනෙකු අත්අඩංගුවට ගත් බව එරට බලධාරීන් ප්‍රකාශ කළා.

ඉස්ලාමාබාද් නගර මායිමේ පිහිටි ගුල්බර්ග් ග්‍රීන්ස් නමැති නේවාසික ප්‍රදේශයක පවත්වාගෙන ගිය මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේ පාකිස්ථාන ෆෙඩරල් විමර්ශන ඒජන්සිය විසින්.

අදාළ විදේශිකයන් සංචාරක වීසා මත පාකිස්ථානයට පැමිණ නීති විරෝධී ලෙස මෙම කටයුතුවල නිරත වී ඇති බව විමර්ශන නිලධාරීන් පවසනවා.

අත්අඩංගුවට පත් පිරිස අතර වියට්නාම ජාතිකයන් 170 දෙනෙකු මෙන්ම මැලේසියාව ඇතුළු තවත් ආසියානු රටවල වැසියන් පිරිසක් ද වන අතර, ඔවුන් දැනට රාවල්පින්ඩි බන්ධනාගාරයේ රඳවා තබා තිබෙනවා.

මේ පිළිබඳව අදාළ තනාපති කාර්යාල දැනුවත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බැවින් චෝදනා පිළිබඳ තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

විමර්ශන අවසානයේ වැරදිකරුවන් වන පිරිස් රටින් පිටුවහල් කිරීමට ද ඉඩ ඇති බව නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළා.

සුප්‍රකට පොන්සි ක්‍රමවේද සහ ආයෝජන වංචා සිදුකළ තවත් මහා පරිමාණ ඇමතුම් මධ්‍යස්ථානයක් වටලා චීන ජාතිකයන් 71 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 149 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් ද පසුගිය 2025 ජූලි මාසයේදී වාර්තා වී තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes