General24 August 2026

තලාව ප්‍රාදේශීය සභාවේදී උණුසුම් තත්ත්වයක්

තිරප්පනය ගම්වාසීන් තලාව ප්‍රාදේශීය සභාවට පැමිණ විරෝධතාවයේ නිරතවීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් හටගත්තා.

එහිදී ඔවුන් කියා සිටියේ තිරප්පනය ගම්මානයේ ජල ව්‍යාපෘතිය, ජාතික ජන බලවේගයට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාව යටතට පවරා ගත්තද ගම්මානයට කිසිදු පහසුකමක් ලබාදී නොමැති බවයි.

ඒ අනුව, අදාළ ජල ව්‍යාපෘතිය යළි ගම්මානයේ සමිතියට පවරා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටි අතර, ඊට අදාළ ලිපිය භාර දීමට උත්සහ කළ අවස්ථාවේ ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාදාස දිසානායක ඔවුන් හමුවට නොපැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

පසුව පොලිසිය මැදිහත් වී පිරිස පාලනය කළ අතර, ගම්වාසීන් 06 දෙනෙකුට සභාපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවුණා.

එහිදී ඇති වූ එකඟතාවය මත මසක් ඇතුළත මෙම ජල ව්‍යාපෘතිය නැවත ගම්මානයේ සමිතියට පවරා දීමට සභාපතිවරයා පොරොන්දු වීමෙන් පසුව ගම්වාසීන් විසිර ගොස් තිබෙනවා.

මේ අතර, පසුගියදා පැවති ධාරානිපාත වර්ෂාවත් සමග මහවැලි ගග පිටාර ගැලීමෙන් පීඩාවට පත්වූ නාවලපිටිය - සේලම්බ්‍රිජ්, කිතුල්කොටේ, ලබුවැල්කොටුව, මඤ්ඤොක්කාවත්ත සහ ඉඹුල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් තම ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණියා.

කෙසේ වෙතත්, ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ගෝෂණයක නිරත වූයේ, තමත් සමග සාකච්ඡා කිරිම ප්‍රාදේශීය ලේකම්වරිය ප්‍රතික්ෂේප කළ බව පවසමින්.

පසුව නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා මැදිහත් වී ඔවුන්ට ප්‍රාදේශීය ලේකම්වරිය සාකච්ඡාවක් ලබාදුන් බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes