රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග කිරීම අද (01) පෙරවරුවේ ආරම්භ වුණා.
මෙම පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙසේ සඳහන් කර සිටියා.
“ස්වාමීනි, මෙය කෙළින්ම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුකරන පනත් කෙටුම්පතක්. මේ හරහා අගවිනිසුරුවරයාගේ ධුරකාලය වසර දෙකකින් දීර්ඝ වෙනවා. සෙසු විනිසුරුවරුන්ගේත් විශ්‍රාම වයස දීර්ඝ වීමක් සිදුවෙනවා. ඒ නිසා ලබැඳියාවන් අතර ගැටුමක් මේ අවස්ථාවේදී උද්ගත වෙනවා. එම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පනත් කෙටුම්පතට අදාල පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින සියලුම විනිසුරුවරුන් ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා."
ඉන් අනතුරුව තවත් පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ සඳහන් කළා.
" ස්වාමීනි, යෝජිත පනත් කෙටුම්පත තුළින් විනිසුරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කර තිබෙනවා. යුක්තිය ඉටුවනවා පමණක් නොව එය ඉටුවන බව පෙනෙන්නත් තිබිය යුතුයි. "බැංගලෝර් මූලධර්ම" අනුව අධිකරණ ක්‍රියාදාමයන් ස්වාධීන විය යුතුයි. එම නිසා මෙම පනත් කෙටුම්පත පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා.”
තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලි ශබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ, මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරු විසින් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වා සිටියා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ ප්‍රකාශ කළා.
“ස්වාමීනී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 (3) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමේ අභිමතය පැවරී තිබෙන්නේ අගවිනිසුරුවරයාටයි. එම ප්රතිපාදනය ප්‍රකාරව අගවිනිසුරුවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් වශයෙන් දෙදෙනෙකුට වැඩි විනිසුරු සංඛ්‍යාවක් නම් කළ හැකියි. විනිසුරු මඩුල්ලේ සංයුතිය තීරණය කිරීමේ සම්පූර්ණ බලය අගවිනිසුරුවරයා වෙත පැවරී තිබෙනවා. ඊට බාහිර පාර්ශ්වයන්ට මැදිහත් වීමට හැකියාවක් නැහැ".
මෙහිදී, අතරමැදි පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් ඇතුළු නීතිඥවරු විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් විනිසුරු මඩුල්ලක සංයුතිය සම්බන්ධයෙන් තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරු සතුවන බව පෙන්වා දුන්නා.
ඉන් අනතුරුව ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අග විනිසුරුවරයා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ අදාල පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පෙත්සංම්කාර පාර්ශවය විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.
ඒ අනූව පවතින විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය ඉදිරියට පවත්වාගෙන යන බවත් පංච පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය ආරම්භ වුණා.
පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සූමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ ප්‍රකාශ කළා.
" යෝජිත සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර් ගත ව්‍යවස්ථා කිහිපයක්ම උල්ලංඝනය වෙනවා. විශේෂයෙන් 03 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. මෙවැනි අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයක් සදහා යොමු කිරීමට තීරණය කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන උල්ලංඝනය කරන මෙවැනි සංශෝධන අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යොමු විය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 සහ 04 ව්‍යවස්ථා ජනතා පරමාධිපත්‍යය හා කෙලින්ම සම්බන්ධ වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන ව්‍යවස්ථාවට සිදු කරන සියලු වෙනස්කම් 03 වන ව්‍යවස්ථාවට බලපානවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 ව්‍යවස්ථාව තුළින් ජනතා පරමාධිපත්‍යය විධායකය, ව්‍යවස්ථාදායක සහ අධිකරණය හරහා ක්‍රියාත්මක වන බව දක්වා තිබෙනවා. වත්මන් අමාත්‍ය විජිත හේරත් විපක්ෂයේ සිටියදී පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට. නමුත් අධිකරණය සදහන් කළා ඊට ජනමත විචාරණයක් අවශ්‍ය බවට. 2022 වසරේ දේශීය ආදායම් පනත් කෙටුම්පත පිළිබඳ තීන්දුවේ අධිකරණය ප්‍රකාශ කළා විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය බවට. අධිකරණ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 ව්‍යවස්ථාවේ අන්තර් ගත වන බව උපරිමාධිකරණ තීන්දුවක සදහන් වෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාවේ අධිකරණය පිළිබඳව සදහන් වෙනවා. එහි උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිබඳව සදහන් වෙනවා. යොජිත සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික පදනමට සෘජුවම බලපෑම් එල්ල කෙරෙනවා. ඒ නිසා මෙම සංශෝධනය ජනමතවිචාරණයකින් පවා අනුමත කරන්න බැහැ. මෙහි බරපතලභාවය ගැන නීතිඥ සංගමය බලධාරීන්ට ලිව්වා. නමුත් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. අවසානයේ දී මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නීතිඥ සංගමයට මහ සභා රැස්වීමක් කැදවීමට සිදු වුණා.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු විනිසුරුවරු හය දෙනෙකු විශ්‍රාම ගියා. අගවිනිසුරුවරු දෙදෙනෙකු විශ්‍රාම ගියා. මෙම සංශෝධනය සම්මත වුවහොත් අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය වෙනවා.".
මේ සඳහා පෙත්සමක් ඉදිරිපත් කර තිබූ මහාචාර්ය ජී. එල්. පීරිස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු විශ්‍රාම වයස 63 ලෙසත් දක්වා තිබේනවා. යෝජිත පනත් කෙටුම්පතේ අගවිනිසුරුවරයාගේ ධුරකාලය සීමා කර තිබෙනවා. ඒ තුළින් සෘජුවම ජනතා පරමාධිපත්‍යය හා ගැටීමක් සිදු වෙනවා. විනිසුරුවරුන්ට නිදහසේ සිය රාජකාරි ඉටු කිරීමට පරිසරයක් තිබිය යුතුයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබු පමණින් එම නිදහසට බාධා සිදුවෙන්න බැහැ. මෙම පනත් කෙටුම්පත තුළින් අධිකරණ ස්වාධීනත්වයට ඍජුවම බලපෑම් සිදුවෙනවා. ඒ හරහා ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වෙනවා. අධිකරණ ඉදිරියේ මෙවැනි කරුණු දැක්වීමක් සිදු කිරීමට සිදුවීම ගැන මා කණගාටු වෙනවා. මෙවැනි කරුණු දැක්වීමක් සිදු කිරීමට සිදුව තිබෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහායි. ඔබතුමන්ලාගේ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන්.
විධායකය මේ ආකාරයට ඔබතුමන්ලාව අපහසුතාවයට ලක් නොකළ යුතුයි. විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස අඩු කිරීම පමණක් නොව එය ඉහල නැංවීමෙන් පවා අධිකරණ ස්වාධීනත්වය උල්ලංඝනය වෙනවා. ශ්‍රී ලංකාව යනු ආසියාවේ පැරණිතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක්. අපට චීනයක් හෝ වියට්නාමයක් වීමට අවශ්‍ය නෑ."
ඉන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කළ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත සංශෝධනය තුළින් අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන ආකාරය පෙන්වා දුන්නා.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් තොරව සම්මත කළ නොහැකි බවත් ඔහු සඳහන් කර සිටියා.
තවත් පෙත්සමකාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිසත් විජ්ගූණවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ සඳහන් කළා.
"මෙම කෙටුම්පත තුළින් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වසර දෙකකින් දීර්ඝ කිරීමට යෝජනා කර තිබෙනවා. කෙටුම්පත සම්මත කිරීමේ බලය පාර්ලිමේන්තුවට පමණක් ලබාදීම අතිශය භයානකයි. ඒ තුළින් අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය වෙනවා. එම නිසා මෙය ජනතා අනුමැතිය සඳහා යොමු විය යුතුයි. ජනමත විචාරණයකින් තොරව එය පාර්ලිමේන්තුව තුළින් පමණක් අනුමත වුවහොත් ඒ තුළින් කෙලින්ම අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය වෙනවා."
ඉන් අනතුරුව තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ ප්‍රකාශ කළා.
" යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් සෘජුව හෝ වක්‍රව මෙම අධිකරණයේ විනිසුරුවරුන්ට බලපෑමක් සිදුවෙනවා. නීතියේ ඉතා වැදගත් මූලධර්මයක් තිබෙනවා. විනිසුරුවරයෙකු තමන්ට බලපාන කරුණක් පිළිබඳව තමන් විසින්ම විනිශ්චයක් ලබාදීම නුසුදුසු බවට. මෙම පනත් කෙටුම්පත තුළින් මෙම අධිකරණ විනිසුරුවරුන්ට බලපෑමක් සිදු වන නිසා මෙම පෙත්සම් ඔබතුමන්ලා විසින් විමසීම සුදුසු නෑ. එසේ නම් ඊළගට තිබෙන විකල්පය කුමක් ද? ඒ තමයි ජනමත විචාරණය. මෙම පනත් කෙටුම්පත පිළිබඳ තීරණයක් ගැනීම ජනතාව හමුවේ තැබිය යුතුයි"
මෙම පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වෙනවා.
Latest News
වාහන මිල යළිත් ඉහළට – ඇතැම් වාහනවල මිල රුපියල් ලක්ෂ 45කින් වැඩි වෙයි
Local
03 September 2026
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය හෙට දක්වා කල් තැබෙයි
Local
03 September 2026
නියඟයෙන් විපතට පත් වගාවන්ට කඩිනමින් කෘෂි රක්ෂණ වන්දි ගෙවීමට මිලියන 3,000 ක්
Local
03 September 2026
වස්කඩුවේ ප්‍රවීන්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව කියන කාන්තාවක් STF දැලේ
Local
03 September 2026
හිටපු නගරාධිපති මුසම්මිල්ගේ පුත්‍රයාගේ නඩුව සමථයකට
Local
03 September 2026
අබුඩාබියෙන් පිටුවහල් කළ තවත් අපරාධකරුවන් දෙදෙනකු දිවයිනට
Local
03 September 2026
කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට : ASPI දර්ශකය ඒකක 69.47කින් ඉහළට
Local
03 September 2026
පාසල් ක්‍රිකට් වසන්තයේ අභිමානවත් පුනරාගමනය - Elephant House Lemonade Sixes නැවතත් කරළියට
Local
03 September 2026
එම්.ටී.එෆ්.ඊ නමැති නීති විරෝධී පිරමීඩ ආයතනයේ ප්‍රධාන අධ්යක්ෂවරයා යළිත් රිමාන්ඩ්
Local
03 September 2026
ගම්මන්පිලට එරෙහි ව්‍යාජ ඇටෝනි බලපත්‍ර නඩුවේ ලිඛිත දේශන ලබන 18 වැනිදා කැඳවිමට නියෝග
Local
03 September 2026