General04 September 2026

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ටින් මාළු සඳහා නව උපරිම සිල්ලර මිලක්


ටින් කළ මාළු වර්ග කිහිපයක් සඳහා නව උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ටූනා, මැකරල් සහ ජැක් මැකරල් සඳහා මෙම නව උපරිම සිල්ලර මිල ගණන් නියම කර තිබෙනවා.

ටූනා ටින් එකක ශුද්ධ බර ග්‍රෑම් 155ක් සහ දියර රහිත බර ග්‍රෑම් 105ක් හෝ ඊට වැඩි නම් එහි උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙස නියම කර ඇති අතර, ශුද්ධ බර ග්‍රෑම් 425ක් සහ දියර රහිත බර ග්‍රෑම් 280ක් හෝ ඊට වැඩි ටින් එකක මිල රුපියල් 510ක් ලෙස නියම කර තිබෙනවා.

මැකරල් ටින් එකක ශුද්ධ බර ග්‍රෑම් 155ක් සහ දියර රහිත බර ග්‍රෑම් 105ක් හෝ ඊට වැඩි නම් උපරිම සිල්ලර මිල රුපියල් 240ක් වන අතර, ග්‍රෑම් 425ක ටින් එකක් සඳහා උපරිම මිල රුපියල් 540ක් ලෙස නියම කර තිබෙනවා.

ජැක් මැකරල් ටින් එකක ශුද්ධ බර ග්‍රෑම් 155ක් සහ දියර රහිත බර ග්‍රෑම් 105ක් හෝ ඊට වැඩි නම් උපරිම සිල්ලර මිල රුපියල් 260ක් වන අතර, ග්‍රෑම් 425ක ටින් එකක් සඳහා එම මිල රුපියල් 600ක් ලෙස නියම කර තිබෙනවා.

මෙම මිල ගණන්වලට වඩා වැඩි මිලකට අදාළ ටින් කළ මාළු වර්ග අලෙවි කිරීම, අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියෝග කර තිබෙනවා.

නව නියෝගය සැප්තැම්බර් 05 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, 2025 නොවැම්බර් 14 වැනිදා නිකුත් කළ මීට පෙර පැවති නියෝගයද මෙම නියෝගය මගින් පරිච්ඡින්න කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes