General04 September 2026

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම ගැන එජාපය හෙළා දකියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතික පක්ෂය දැඩිව හෙළා දැක තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මේ මස 12 වනදා අනුරාධපුරයේදී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පැහැදිලි බවයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට රට පුරා රැස්වීම් පැවැත්වීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නාමල් රාජපක්ෂටද හිමිවිය යුතු බව එජාපය අවධාරණය කරනවා.

එම අයිතිය උදුරා ගැනීම නූතන ශිෂ්ට සම්පන්න සමාජය කිසිසේත් අනුමත නොකරන බවද එම නිවේදනයේ සඳහන්.

මාලිමාව ආණ්ඩුවේ මෙවැනි ක්‍රියා හමුවේ රජය දිනෙන් දින අසරණ වෙමින් පවතින බවත්, අත්අඩංගුවට ගැනීම් තුළින් ජනතා නායකයින්ට ඇති ජනතා ප්‍රසාදය නැති කළ නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් පවසනවා
Related recommendation
Hiru TV News | Programmes