General05 September 2026

පීඩනය වැඩි බව කියා දෙහිවල ට්‍රැෆික් ඕඅයිසී රස්සාව දමා ගිහින්

රාජකාරී කටයුතු අධික වීම හේතුවෙන් ඇතිව තිබෙන පීඩනය තවදුරටත් දරා ගත නොහැකි බව පවසමින් පොලිස් තොරතුරු පොතේ සටහන් යොදා දෙහිවල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති තනතුර දරන පොලිස් පරීක්ෂකවරයෙකු සේවය අතහැර ගොස් ඇති බව දෙහිවල පොලිසිය සඳහන් කරනවා.

මෙම පොලිස් පරීක්ෂකවරයාගේ අදාළ ක්‍රියාව හේතුවෙන් අනෙකුත් නිලධාරීන්ට වැරැදි පූර්වාදර්ශයක් ලබාදී තිබෙන නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට උපදෙස් ලබාදී තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පොලිස් නීති කොට්ඨාසයෙන් උපදෙස් ගැනීමෙන් අනතුරුව දෙහිවල පොලිස් ස්ථානාධිපති තනතුර දරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගෙන් සහ එම පොලිසිය අධීක්ෂණය කරන සහකාර පොලිස් අධිකාරීවරයාගෙන්ද ප්‍රකාශ ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

පනතේ හා දණ්ඩ නීති සංග්‍රහයේ අණ පනත් අනුව එම පොලිස් පරීක්ෂකවරයා සේවය අතහැර යාම සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවක් මහේස්ත්‍රාත් අධිකරණයේ අංක තුන අධිකරණයට පෙරේදා (03) තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කළ බව පොලිසිය සඳහන් කරනවා.

මෙම පොලිස් පරීක්ෂකවරයාට නොතීසියක් නිකුත් කරන ලෙස සහ ගුවන් ගමන් තහනමක් පනවන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ද සඳහන්.

අපරාධමය චෝදනාවක් සම්බන්ධයෙන් අනාවරණය වන්නේ නම් ඒ බව මෙම මස 24 වැනිදාට දැනුම් දෙන ලෙස අධිකරණය පොලිසියට දැනුම් දී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes