International16 September 2026

තැපැල් ඡන්ද තීන්දුවෙන් පසු ට්‍රම්ප්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැඩි විවේචන

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තැපැල් මගින් ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සිය පරිපාලනය ඉදිරිපත් කළ නීතියක් ක්‍රියාත්මක කිරීමට අවසර නොදීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීන්දුවෙන් පසු එහි විනිසුරුවරුන් දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.

රොයිටර් පුවත් සේවය සඳහන් කරන පරිදි, මෙහි විශේෂත්වය වන්නේ ට්‍රම්ප් විසින්ම පළමු ජනාධිපති ධුර කාලයේදී පත් කළ විනිසුරුවරුන් තිදෙනෙකුද ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටියදී මෙම විවේචන එල්ල කිරීමයි.

ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණය “අන්ත වාමාංශික බලපෑමට” යටත්ව තීන්දු ලබාදෙන බවයි.

එමෙන්ම එහි ඇතැම් විනිසුරුවරුන් තමන් පත් කිරීමට පෙර හඳුනාගත් පුද්ගලයන් මෙන් නොවන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

නොවැම්බර් මස පැවැත්වීමට නියමිත මධ්‍යවාර මැතිවරණයට පෙර තැපැල් ඡන්ද සම්බන්ධයෙන් නව සීමා පැනවීමට අදාළ නීතියක් ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප් පරිපාලනය උත්සාහ කර තිබුණා.

එම නීතිය යටතේ තැපැල් ඡන්දය භාවිත කරන ඡන්දදායකයින්ගේ තොරතුරු ඉදිරිපත් කිරීම සහ තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා විශේෂ තීරුකේත සහිත ලියුම් කවර භාවිත කිරීම ඇතුළු නව ක්‍රියාමාර්ග හඳුන්වාදීමට යෝජනා කර තිබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, එම නීතිය මැතිවරණයට පෙර ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බව ඇතුළු කරුණු මත අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය එය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට තීරණය කර තිබෙනවා.

මෙම තීන්දුවට විරුද්ධව ප්‍රසිද්ධියේ අදහස් පළ කර ඇත්තේ, විනිසුරුවරුන් වන සැමුවෙල් ඇලිටෝ සහ ක්ලැරන්ස් තෝමස් පමණක් වන අතර, ට්‍රම්ප් ඔවුන් දෙදෙනා “ජනප්‍රවාදගත” විනිසුරුවරුන් ලෙස හඳුන්වා දී ඇති බව සඳහන්.

මේ අතර, අමෙරිකානු නීතිපති ටොඩ් බ්ලාන්ච් සඳහන් කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ට්‍රම්ප් පරිපාලනය අනුකූල වන බවයි.

මෙය ට්‍රම්ප් සිය පාලන සමයේදී තමන් විසින් පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කළ පළමු අවස්ථාවද නොවන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
Related recommendation
Hiru TV News | Programmes