General23 December 2013

මන්නාරමේ සමූහ මිනීවලේ කැණීම් විශේෂඥයෙකු යටතට.

මන්නාරම කෝවිල් භූමියෙන් හමුවූ සමූහ මිනීවළ සම්බන්ධයෙන් ඉදිරි කැණීම් කටයුතු විශේෂඥයෙකු යටතේ සිදුකෙරෙන බව පොලීසිය පවසනවා. ඒ අනුව අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ මෙහෙයවීම මත ඉදිරි කැණීම් කටයුතු සිදුකිරීම හෙට සිට ඇරඹෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සදහන් කළා.

පසුගිය සිකුරාදා මන්නාරම ඒ - 32 ප්‍රධාන මාර්ගයේ තිරුකේදීෂ්වරම් කෝවිලට පිවිසුම් මාර්ගයේ ජලනල සවි කරමින් සිටි කොන්ත්‍රාත්කරුවන්ට මිනිස් හිස් කබලක් සහ අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබුණා. පසුව පොලිසිය ද මැදිහත්වීමෙන් මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර කැණීම් කටයුතු සිදුකෙරුණා. ඊයේ (22) වනවිට මෙම ස්ථානයේ තිබූ මිනිස් හිස් කබල් 10 ක් සහ අස්ථි කොටස් කිහිපයක් සොයා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙය පසුගිය යුධ සමයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් සාදන ලද සමූහ මිනීවළක් බවට අනුමාන කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ.

මේ අතර, මාතලේ රෝහල් භූමියෙන් හමුවූ සමූහ මිනීවලේ දත්ත කොටස් පරීක්ෂා කිරීම සඳහා ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කුරුණෑගල මහරෝහලේ අධිකරණ වෛද්‍ය අජිත් ජයසේකර සඳහන් කළේ මේ වනවිටත් අදාළ දත්ත කොටස් රැසක පරීක්ෂණ සිදුකර අවසන් බවයි. මාතලේ සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස් කාල නිර්ණය සඳහා චීනයේ - බීජිං නුවර වෙත යැවීමට ද අධිකරණ නියෝග මත මීට පෙර පියවර ගැණුනා.
Related recommendation
Hiru TV News | Programmes