Business21 August 2026

"මේ වසර අවසන් වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 9ක ඉලක්කය සපුරා ගැනීමට පුළුවන්" - මුදල් නි. ඇමති

විදේශ ප්‍රේෂණ ලැබීමේ ධනාත්මක ප්‍රවණතාව මත පදනම්ව, 2026 වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 9ක විදේශ සංචිත ඉලක්කය සාර්ථකව ළඟා කර ගත හැකි බවට රජය දැඩි විශ්වාසයකින් පසු වන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

2026 වසරේ පළමු මාස හත තුළ ශ්‍රී ලංකා විදෙස්ගත ශ්‍රමිකයන් විසින් ඩොලර් බිලියන 5කට අධික ප්‍රේෂණ ප්‍රමාණයක් එවා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව, 2028 වසරේදී උද්ගත වන දැවැන්ත විදේශීය ණය ගෙවීම්වලට මුහුණ දීම සඳහා විදේශ විනිමය මූලාශ්‍ර විවිධාංගීකරණය කිරීමට සහ වැඩි වශයෙන් සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීමට රජය කටයුතු කරමින් සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ආයෝජන, අපනයන සහ ප්‍රේෂණ ඇතුළු විවිධ මාර්ග හරහා ශුද්ධ විදේශ විනිමය ගලා ඒම වැඩි කිරීමට රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.

2028 අප්‍රේල් මාසයේදී රටට ඩොලර් බිලියන 3.9ක පමණ විදේශීය ණය ආපසු ගෙවීමට සිදුවන පසුබිමක, සාම්ප්‍රදායික නොවන ක්ෂේත්‍ර ඔස්සේ විදේශ ආදායම් වර්ධනය කර ගැනීමටත්, ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපළේ වැඩි ඉපැයීම් ලබාගත හැකි ක්ෂේත්‍ර වෙත ශ්‍රමිකයන් යොමු කිරීමටත් මූල්‍ය උපායමාර්ග සකස් කරමින් පවතින බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes