Sports14 September 2026

ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල පකිස්ථානු ක්‍රිකට් සභාපතිගෙන් ආසියානු කුසලානය භාරගැනීම ප්‍රතික්ෂේප කරයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති මෙන්ම පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලයේ සභාපති වන මොහ්සින් නක්වි (Mohsin Naqvi) ගෙන් ආසියානු කුසලානය භාරගැනීම ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඊයේ (13) ඩුබායි හි පැවැති කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72කින් පරාජය කරමින් ඉන්දීය කාන්තා කණ්ඩායම 8 වන වරටත් ආසියානු ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.

තරගයෙන් අනතුරුව පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවය මිනිත්තු 50කට ආසන්න කාලයක් ප්‍රමාද වූ අතර, ඉන්දීය කණ්ඩායම නක්වි ගෙන් කුසලානය ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඔවුන් ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී නොවී ක්‍රීඩක විවේකාගාරයේ රැඳී සිටියා.

ත්‍යාග ප්‍රදානෝත්සවයේදී අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පදක්කම් සහ චෙක්පත නක්වි අතින් පිරිනැමූ අතර, ඉන් අනතුරුව ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායමට කුසලානය පිරිනැමීමකින් තොරව උත්සවය හදිසියේම අවසන් කිරීමට සිදු වුණා.

පසුගිය වසරේ පැවැති පිරිමි ආසියානු කුසලාන තරගාවලියේදී ද ඉන්දීය පිරිමි කණ්ඩායම මොහ්සින් නක්විගෙන් කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) තීරණයට අනුව මෙවර කාන්තා කණ්ඩායම ද එම පියවරම අනුගමනය කර තිබුණා.

Related Recomands
Hiru TV News | Programmes