General29 April 2017

මීතොටමුල්ල කසළ කන්දේ වහා ගිනි ඇවිලෙන සුළු වායූ තවදුරටත්

නායයෑමට ලක්වූ මීතොටමුල්ල කසල කන්දෙන් වහා ගිනි ඇවිලෙන සුළු වායු තවදුරටත් නිකුත් වෙමින් පවතින බව එහි පරීක්ෂණ සිදුකරන මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහේෂ් ජයවීර පවසනවා.

මීතොටමුල්ල කසළ කන්ද මහානගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ආයතන කිහිපයක් එක්ව ඊයේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ඊට එක්ව සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න අදහස් දක්වමින් කියා සිටියේ  කසල කන්දේ අනෙක් පස කොටස කඩා වැටීමේ හැකියාවක් පවතින බවයි.  

එහිදී කසළ කන්ද නිරීක්ෂණය කිරීම සදහා පැමිණි නිලධාරින් පෙන්වා දුන්නේ අවදානම් කලාපයේ සිටින සියලූදෙනාට ඉන් ඉවත් වන ලෙස මේ වනවිටත් දැනුම්දී ඇති බවයි.  

කෙසේ වෙතත්, තවදුරටත් තම නිවෙස්වල රැදී සිටින 23 වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් පවසන්නේ නායයාමේ අවදානම සම්බන්ධයෙන් තමන් දැනුවත් කර නොමැති බවයි.

මෙම ප්‍රදේශයේ නිවාස කිහිපයක්ම තවමත් ජලයෙන් යටව පවතින අතර, කාණු පද්ධතිය ද ජලය බැස නොයාම හේතුවෙන් අවහිර වී තිබෙනවා.   

මේ අතර මහනුවර - ගොහාගොඩ කසළ කන්දේ සිදුවූ ටොනේඩෝ තත්ත්වය එහි විවිධ වායූ විදාරණය වීමක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න ඊයේ සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුව පෙන්වා දුන්නා.

Related recommendation
Hiru TV News | Programmes