General03 April 2020

ඇඳිරි නීතිය කැඩූ 11,000ක් අත්අඩංගුවට - මොරටුවේදී අණ නොතැකූ 3 දෙනාට පෙර වැරදි රැසක්

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 11,019 දෙනෙකු පොලීසිය මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ වාහන 2727ක් ද එහිදී පොලිස් භාරයට ගෙන ඇති බවයි.

එසේම, අද උදෑසන 6 සිට අද දහවල් 12 දක්වා පැය 6ක කාලය තුළ පමණක් පුද්ගලයින් 289 දෙනෙකු සහ වාහන 70ක් අත්අඩංගුවට ගැණුනා.

මේ අතර, මොරටුව - එගොඩඋයන, මෝදර - අලූත්පාලම අසල මාර්ග බාධකයේදී අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් තුන්දෙනා පෙර වැරදි රැසකට සම්බන්ධ බවට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

ඔවුන් සහ අත්අඩංගුවට ගත් මෝටර් රථයේ රියදුරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

තුවාලකරුවන් අවුරුදු 18 ත් 22 ත් අතර පසුවන පානදුර හා බත්තරමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඉන් දෙදෙනෙකු දැනට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔවුන් දෙදෙනා ප්‍රදේශයේ සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

එක් තුවාලකරුවෙකු 2018 වසරේ නොවැම්බර් මාසයේදී හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ අයෙක්.

අනෙක් තුවාලකරු 2017 වසරේ වරෙන්තුවක් සඳහා අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගත කර සිටියදී ඉන් පැන ගොස් ඇති අතර, ඊට පසුව 2018 - 2019 වර්ෂවලදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවෙකු වනවා.

මේ අතර ඇඳිරි නීතිය කඩ කරමින් කොළඹ තදාසන්න ප්‍රදේශවල මහල් නිවාස ආශ්‍රිතව දිවා සහ රාත්‍රී කාලවලදී කණ්ඩායම් වශයෙන් ගැවසෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



Related recommendation
Hiru TV News | Programmes