General21 September 2025

ඉබ්බාගමුවේදී තරුණයෙකුගේ මළ සිරුරක් බෝක්කුවක තිබී හමුවෙයි

ඉබ්බාගමුව, යකල්ල ප්‍රදේශයේ බෝක්කුවක් තුළ දමා තිබූ තරුණයෙකුගේ අභිරහස් ලෙස මියගිය මළ සිරුරක් අද (21) දහවල් ගොකරැල්ල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීයෙකු විසින් ලබා දුන් තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, මියගොස් ඇත්තේ ඉබ්බාගමුව, පබුළුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු බවට හඳුනාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පොලිසිය සඳහන් කරන්නේ, මියගිය තරුණයා ඊයේ රාත්‍රියේ සිට අතුරුදහන්ව ඇති බවට අද උදෑසන පොලිසියට පැමිණිල්ලක්ද ලැබී තිබූ බවයි.

සත්ව ගොවිපළක කම්කරුවකු ලෙස සේවය කළ මෙම තරුණයා, ඊයේ රාත්‍රී සිය වැඩ මුරය නිමවා නිවසට පැමිණෙන බව නිවැසියන්ට දන්වා තිබෙන අතර, රාත්‍රී දහය පසුවූවද ඔහුගෙන් කිසිදු තොරතුරක් නොලැබුණු බවයි නිවැසියන් පොලිසියට පවසා ඇත්තේ.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගොකරැල්ල පොලිසිය විසින් විමර්ශන සිදුකරනු ලබයි.
Related recommendation
Hiru TV News | Programmes