General29 September 2025

රාජගිරිය අනතුර ගැන පාඨලී ගොනු කළ රිට් පෙත්සම නොවැම්බර් 24 දා විභාගයට

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා බරපතල රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන චෝදනා බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ගොනු කර තිබෙන රිට් පෙත්සම නොවැම්බර් මස 24 වනදා විභාගය සඳහා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (29) නියම කළා.

එම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු ෆ්‍රැන්ක් ගුණවර්ධන ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමරසිරි පණ්ඩිතරත්න කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා අදාල පෙත්සම විභාගය සඳහා නොවැම්බර් මස 24 වන දා කැඳවන ලෙස නියම කළා.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණා.

එම අධිචෝදනා ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත්, ඒවා ප්‍රතික්ෂේප කරන ලෙස සිය නීතිඥවරු මූලික විරෝධතා මතුකල ද, එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණය අදාළ නඩුව විභාගයට ගැනීමට නියම කළ බවත් පෙත්සම්කරු සඳහන් කළා.

කොළඹ මහාධිකරණයේ එම තීරණය නීතියට පටහැණි යැයි තීන්දු කොට එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාඨලී චම්පික රණවක විසින් අභියාචනාධිකරණය හමුවට පැමිණ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
Related Recommends
Hiru TV News | Programmes