General10 October 2025

විමල්ගේ ප්‍රකාශය පොලිසියෙන් ලීක් ...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ නායක විමල් වීරවංශ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ඊයේ (09) පෙරවරුවේ පෙනී සිටියේ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

ඒ, සීනිමෝදර මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව විමල් වීරවංශ මාධ්‍යයට කළ හෙළිදරව්වක් හේතුවෙන්.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ සම්බන්ධයෙන් අද (10) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, 2025.10.02 වන දින මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිදු කරන ලද ප්‍රකාශවලට අදාළව කරුණු තහවුරු කිරීමේ කිසිදු සාක්ෂියක් ඔහු විසින් ඊයේ (09) ප්‍රකාශ ලබා දෙන අවස්ථාවේදී ඉදිරිපත් කර නොමැති බවයි.

එම නිවේදනය පහතින් දැක්වෙයි.

“2025.10.02 වන දින තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු වන වීරසිංහගේ සනත් නොහොත් ඛෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය සම්බන්ධව 2025.10.02 වන දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා මාධ්‍ය සාකච්ජාවක් පවත්වා සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව ආරම්භ කර ඇති විමර්ශණයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට කැඳවීම් කර තිබු අතර, ඒ අනුව ඔහු ඊයේ (09) වන දින එම කාර්යංශයේ පෙනී සිටින ලදී.

එහිදී ඔහු විසින් 2025.09.22 වන දින තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සම්බන්ධව සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳව පහත සඳහන් ආකාරයට පිලිතුරු ලබා දී ඇත.

01. වීරසිංහගේ සරත් නොහොත් ඛෙලිඅත්තේ සනා නොහොත් සුවක් දණ්ඩාවේ සනා යන අය තමා විසින් කිසි දිනක දැක නොමැති බවත් ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරි සාමාජිකයෙකු ලෙස කිසිදු අවස්ථාවක හඳුනා ගෙන නොමැති බවය.

02 මත්ද්‍රව්‍ය ගෙන එන්නේ රාජ්‍ය අනුග්‍රහය මත හා මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරන්නේ රාජ්‍ය අනුග්‍රහය මත බව තමා පැවසුවේ පවතින පොදු තත්වය මත මිස මෙම සිදුවීම සම්බන්ධව නොවන බවත්ය.

03 වීරසිංහගේ සරත් නොහොත් බෙලි අත්තේ සනා නොහොත් පුවක් දණ්ඩාවේ සනා යන අය මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු බව පැවසුවේ එම දිනවල මාධ්‍ය මගින් අනාවරණය කල තොරතුරු මත බවය.

04 පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ ගරු ජනාධිපති තුමා එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවකදී වීරසිංහගේ සරත් නොහොත් බෙලි අත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ පනා යන අයගේ නිවසට පැමිණ ආහාර ගත් බව ‍නොව එම ප්‍රදේශයේ හෝටලයකට පැමිණ ආහාර ගත් බව තමා විසින් දැන ගත් බවය.

05 වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක් දණ්ඩාවේ සනා යන අය අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වූයේ රාජ්‍ය අනුග්‍රහයෙන් එවැනි ප්‍රමාද කිරීමක් සිදු කල හැකි බවට තමා තුල පැවති විශ්වාසය හේතුවෙන් බවත්ය.

ඒ අනුව 2025.10.02 වන දින මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදු කරන ලද ප්‍රකාශ වලට අදාලව කරුණු තහවුරු කිරීමේ කිසිදු සාක්ෂියක් ඔහු විසින් ඊයේ (09) දින ප්‍රකාශ ලබා දෙන අවස්ථාවේදී ඉදිරිපත් කර නොමැත.

එබැවින් දැන දැනම අසත්‍ය බව දන්නා වූ හෝ අසත්‍ය බව විශ්වාස කරන්නා වූ යම් තොරතුරක් හෝ යම් කරුණක් ප්‍රකාශ කිරීම සම්බන්ධව ගරු අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය කටයුතු සිදු කරනු ඇත.

තවදුරටත් මේ සම්බන්ධව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.”

Related Recommends
Hiru TV News | Programmes