General10 October 2025

නුවරඑළිය වනසමින් මුහුණු පොතේ නැටූ අයට වරදී

වසර 12 කට පමණක් පිපෙන බව කියන හෝටන්තැන්න ජාතික උද්‍යානයේ ඇති නෙළු මල් බැලීමට පැමිණි සංචාරකයන් විසින් කරන ලද අනීතික හැසිරීම් මැඬලීමට වනජීවී නිලධාරින් මේ වනවිට නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් සිටිනවා.

ඒ අනුව දෙස් විදෙස් සංචාරකයන් විශාල සංඛ්‍යාවක් පැමිණි පසුගිය දීර්ඝ සතිඅන්ත නිවාඩුවේදී පමණක් හෝටන්තැන්න ජාතික උද්‍යානයේ මල් කැඩීම, පැලෑටි වර්ග ගැලවීම, වැනි නීතිවිරෝධී කටයුතුවල නිරත වූ සංචාරකයන්යන්ගෙන් රුපියල් ලක්ෂයකට වඩා වැඩි ස්ථානීය දඩ අයකර ගැනීමට වනජීවී නිලධාරින් පියවර ගෙන තිබෙනවා.

තවත් විසි දෙනෙකුට එරෙහිව නෛතීක ක්‍රියාමාර්ගද ගෙන ඇත.

මීට අමතරව හෝටන්තැන්නේ ශාක හා ජෛව විවිධත්වයට හානිවන ආකාරයට ජායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ පල කළ අයටද එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හෝටන්තැන්න උද්‍යාන භාරකරු සිසිර කුමාර රත්නායක පවසනවා.

ඒ අනුව විනෝදයට මුහුණු පොතේ පින්තූර දැමූ අයටද නැවත වරක් නුවරඑළියට ගොස් එහි අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවනු ඇතැයි වාර්තා වෙනවා.

වසර 12 කට පමණක් පිපෙන බව කියන නෙළු මල් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද විවිධ පින්තූර සහ විස්තර දැනගත් දේශීය සංචාරකයන් ඉකුත් සති අන්තයේදී රංචු පිටින් හෝටන්තැන්නට ඇදී ආවා.

මේ හේතුවෙන් පොලීසියට සහ වනජීවී නිලධාරින්ටද පාලනය කළ නොහැකි ආකාරයට අධික රථවාහන මෙන්ම සංචාරකයන්ගේ තදබදයක්ද එහි ඇතිවී තිබුණා.

මෙලෙස පැමිණි සංචාරකයන් හෝටන්තැන්න ජාතික උද්‍යානයට අදාළ නීතිරිති අමු අමුවේ උල්ලංඝනය කරමින් හැසිරීම නිසා බරපතල පාරිසරික හානියක් සිදුව ඇති බවද වාර්තා වෙනවා.

තවමත් දහස් ගණනින් සංචාරකයන් එහි පැමිණෙමින් සිටින බවද වාර්තා වෙනවා.

හෝර්ටන් ජාතික වන උද්‍යානයේ නෙළු වසන්තය  නැරඹීමට පැමිණෙන්නේ නම් ජාතික උද්‍යානයේ  පවතින නිතී රීති අනුව කටයුතු කළ යුතු බව හෝර්ටන්තැන්න ජාතික උද්‍යාන භාරකාර සිසිර රත්නායක මහතා පැවසිය.

සිසිර රත්නායක ඒ බැව් කියා සිටියේ වසර 12 පසු  මෙවර නෙළු මල් වර්ග හතරක් එකට පිපී ඇති බවත්, එය නැරඹීම සදහා සති අන්තයේ සහ නිවාඩු දිනවල අධික  සංචාරකයන් පිරිසක් සහ වැඩි රථවහන ප්‍රමාණයක් හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය පැමිණෙන බවයි.

එසේ එන ඇතැම් පිරිස් ජාතික උද්‍යානයක නීති රීතිවලට පටහැනිව කටයුතු කර ඇති බවත්, එම පිරිස සදහා නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කල බවත් සිසිර රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවා.

Related Recommends
Hiru TV News | Programmes