General13 October 2025

විදුලිසරින් වනඅලියකු මරූ කාන්තාවකට ලක්ෂ 2ක දඩයක්

විදුලිසර වද්දවා වන අලියකු මරණයට පත් කිරීමේ චෝදනාවට වරද පිළිගත් කාන්තාවකට රුපියල් ලක්ෂ දෙකක දඩයක්‌ මොරවැව සංචාරක මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් අද (13) නියම කළා.

එම දඩය ලබන නොවැම්බර් 03වැනිදාට ප්‍රථම ගෙවීමට ද අධිකරණයෙන් චුදිතට නියෝග කෙරුණා.

මෙසේ දඩ නියම වූයේ ගෝමරංකඩවල, මැදවච්චිය, බක්මීගම පදිංචි එස්.ඩී. දීපිකා කුමුදු කුමාරි දිසානායක (39) නැමති කාන්තාවටයි.

ඉකුත් ඔක්තෝබර් 04 දින හෝ ඊට ආසන්න දිනකදී සැකකාර කාන්තාවගේ නිවස වටා ඇද තිබූ විදුලි රැහැනකින් මෙම අලියාට විදුලිසර වද්දවා මරණය සිදුකිරීම සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගෝමරංකඩවල අඩවි ආරක්ෂක එම්. සුජිත් තුෂාර සැකකාරියට එරෙහිව වන සත්ත්ව හා වෘක්ෂ ලතා ආරක්ෂක ආඥා පනතේ 20 (1) ආ වගන්තිය යටතේ චෝදනා ගොනුකර තිබුණා.

අදාල නඩුවේ නඩු භාණ්ඩ වන විදුලි රැහැන්, විදුලි පරිපථ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

Related recommendation
Hiru TV News | Programmes