General22 June 2026

ශ්‍රී ලංකා නාවික හමුදාවට අමෙරිකාවෙන් රුපියල් බිලියන 1.2ක උසස් චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්

ලොව කාර්යබහුලම නාවික ගමන් මාර්ග කිහිපයක් ඔස්සේ සමුද්‍රීය සන්නිවේදන හැකියාවන් ශක්තිමත් කරමින්, එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ‘ෆ්ලීට් බ්‍රෝඩ්බෑන්ඩ්’ (Fleet Broadband) චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණය ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මේ පිළිබඳ නිල නිවේදනය අද (22) කොළඹ වරායේ SLNS ගජබාහු නෞකාවේදී, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් පෝල් කපූර් විසින් සිදු කරනු ලැබුවා.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් සහකාර ලේකම් කපූර් නෞකාව වෙත පිළිගනු ලැබූවා.

එහිදී ඔවුහු සමුද්‍රීය සහයෝගීතාව, ජාත්‍යන්තර නාවික මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම, කලාපීය ආපදා ප්‍රතිචාර මෙහෙයුම් සඳහා සහාය වීම සහ ඉන්දියානු සාගරය පුරා සිදුවන නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා මෙම දියුණු සන්නිවේදන තාක්ෂණය ඉටු කරන කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

කොබම් සහ ඉන්මාර්සැට් සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද, ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 4ක් (රුපියල් බිලියන 1.2කට අධික) වටිනා මෙම සම්පූර්ණ ෆ්ලීට් බ්‍රෝඩ්බෑන්ඩ් පද්ධතිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ අක්වෙරළ මුර සංචාර යාත්‍රා බලඇණිය තුළ ස්ථාපනය කිරීම සඳහා ලබා දී තිබෙනවා.

මෙමඟින් වෙරළබඩ පරාසයෙන් බොහෝ දුරින් ක්‍රියාත්මක වන අවස්ථාවලදී පවා විශ්වාසනීය හඬ, දත්ත සහ තොරතුරු හුවමාරුව සහතික කරමින්, ආරක්ෂිතව නැවෙන්-නැවට සහ නැවෙන්-වෙරළට සන්නිවේදන පහසුකම් සැලසෙන අතර, ඉන්දියානු සාගරයේ දුරස්ථ ප්‍රදේශ ඇතුළුව විශාල සමුද්‍රීය කලාප පුරා මූලස්ථානය, ගුවන් යානා සහ අනෙකුත් නෞකා සමඟ තත්‍ය කාලීන සම්බන්ධතාව පවත්වා ගැනීමට නාවික හමුදාවට හැකියාව ලැ‍බෙන බවයි වාර්තා වන්නේ.

මෙහිදී අදහස් දක්වමින් සහකාර ලේකම් පෝල් කපූර් මහතා ප්‍රකාශ කළේ, තම ඉන්දු-පැසිෆික් හවුල්කරු වන ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දුන් මෙම ආරක්ෂිත, තත්‍ කාලීන සම්බන්ධතාවය මඟින් මුහුදේ කිසිදු සන්නිවේදන බිඳ වැටීමක් ඇති නොවන බව සහතික කරන බවයි.

මෙමඟින් ශ්‍රී ලාංකික හවුල්කරුවන්ට හදිසි අවස්ථාවන්ට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට, ආර්ථිකය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන නෞකා ආරක්ෂා කිරීමට සහ නීති විරෝධී ක්‍රියාකාරකම් වෙරළ තීරයට ළඟා වීමට පෙර මැඩපැවැත්වීමට හැකියාව ලැබෙන බවද ඔහු පැවසුවා.

නව සන්නිවේදන හැකියාව මඟින් සමුද්‍රීය ක්ෂේත්‍ර දැනුවත්භාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වන අතර එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික)මෙ හිදී අවධාරණය කළා.

මෙම පද්ධතිය හඳුන්වාදීම මඟින් බලඇණිය පුරා බාධාවකින් තොර සම්බන්ධතාවයන් පවත්වා ගැනීමටත්, කලාපීය හවුල්කරුවන් සමඟ අත්‍යවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමටත් හැකි වන බැවින් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට වඩාත් සම්බන්ධීකරණ ප්‍රතිචාරයක් දැක්වීමට හැකි වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes