International15 December 2025

සිඩ්නි වෙඩි තැබීමේදී ප්‍රහාරකයා නිරායුධ කළ අල් අහමඩ් වීරයෙක්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර උත්සවයක් ඉලක්ක කර ගනිමින් සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකදී ප්‍රහාරකයෙකු බිම දමා, ඔහුගේ තුවක්කුව උදුරා ගෙන ජීවිත රැසක් බේරාගත් පුද්ගලයෙකු 'වීරයෙකු' ලෙස ප්‍රශංසාවට ලක්ව තිබෙනවා.

අවම වශයෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ මෙම සිද්ධියේදී, මෙම සාමාන්‍ය වැසියාගේ මැදිහත්වීම හේතුවෙන් විශාල ජීවිත හානියක් වැලකී යන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

43 හැවිරිදි දෙදරු පියෙකු සහ පළතුරු වෙළෙඳසැලක හිමිකරුවෙකු වන අහමඩ් අල් අහමඩ් නමැති මෙම පුද්ගලයා, මෝටර් රථ නැවැත්වීමේ ස්ථානයකදී රයිෆලයක් අතැතිව සිටි ප්‍රහාරකයෙකු වෙත දිව යන ආකාරය වීඩියෝ දර්ශනවල දැක්වෙනවා.

ඔහු එම පුද්ගලයාව පොරබැදීමකින් බිම දමා, රයිෆලය උදුරාගෙන එම ආයුධයම ඔහුට එල්ල කරන ආකාරයයි එහි දැක්වෙන්නේ.

පසුව නිරායුධ වූ ප්‍රහාරකයා පසුපසට වී තවත් වෙඩික්කරුවෙකු සිටි පාලමක් දෙසට ගමන් කරන විට, අහමඩ් අල් අහමඩ් තුවක්කුව බිම තබන ආකාරය ද වීඩියෝවේ දැක්වෙනවා.

ඔස්ට්‍රේලියානු රූපවාහිනී ප්‍රවෘත්ති සේවයක් උපුටා දක්වමින් අල් අහමඩ්ගේ ඥාති සහෝදරයෙකු වන මුස්තාෆා පවසා ඇත්තේ, සිද්ධිය අතරතුර අල් අහමඩ්ට දෙවරක් වෙඩි වැදී ඇති බවයි.

"ඔහු රෝහලේ ඉන්නවා, ඇතුළත සිදුවන්නේ කුමක්දැයි අපි හරියටම දන්නේ නැහැ. ඔහු හොඳින් වේවි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඔහු සියයට සීයක්ම වීරයෙක්," යනුවෙන් මුස්තාෆා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ (14) සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පසු එක් සැකකරුවෙකු ඝාතනය කර ඇති අතර, අනෙක් සැකකරු බරපතල තත්ත්වයෙන් රෝහල්ගතව සිටිනවා.

පොලීසිය තෙවන වෙඩික්කරුවෙකු සම්බන්ධ වී ඇත්ද යන්න පිළිබඳව විමර්ශන සිදු කරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes