International28 December 2025

දරුවන් ඉන්න මාලේ තනි මාපියන්ට රජයෙන් දෙන දීමනාව ඉහළට

දරිද්‍රතාවෙන් පෙළෙන තනි මව්වරුන් සහ පියවරුන් සඳහා ලබාදෙන රජයේ මාසික දීමනාව මාලදිවයින රුෆියා 12,000 දක්වා වැඩි කිරීමට මාලදිවයිනේ රජය පියවර ගෙන තිබෙනවා.

ඒ එරට ජාතික සමාජ ආරක්ෂණ නියෝජිතායතනයේ රීති සංශෝධනය කිරීමත් සමඟයි.

මෙම නව සංශෝධනය මාලදිවයිනේ රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඇති අතර එය ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙම ඉහළ දැමූ දීමනාව ලබා දීම සඳහා රජය ලබන වසරේ රාජ්‍ය අයවැයෙන් රුෆියා මිලියන 211 ක මුදලක් වෙන් කර තිබෙනවා.

රජයේ නිල දත්ත වලට අනුව, මේ වන විට පුද්ගලයින් 5,878 දෙනෙකු මෙම මූල්‍ය ආධාරය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.

නව සංශෝධනයට අනුව, එක් දරුවෙකු සඳහා මසකට රුෆියා 3,000 බැගින් උපරිම වශයෙන් දරුවන් සිව්දෙනෙකු (4) දක්වා දීමනා ගෙවනු ලබනවා.

සුදුසුකම් ලබන තනි මාපියෙකුට මසකට උපරිම වශයෙන් රුෆියා 12,000 ක් සහ වසරකට උපරිම වශයෙන් රුෆියා 144,000 ක් ලබාගත හැකියි.

මීට පෙර එක් දරුවෙකුට ගෙවනු ලැබුවේ රුෆියා 1,000 ක් පමණක් වන අතර මාසික උපරිම සීමාව රුෆියා 10,000 ක්.

නව නීතියට අනුව, අයදුම්කරු කැමති නම් තමාගේ ගිණුමට අමතරව වෙනත් බැංකු ගිණුමකට ද මෙම මුදල් බැර කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

මෙම දීමනාව ඉහළ නැංවීම ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු විසින් සිය මැතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දුවක් ඉටු කිරීමක් බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes