General23 January 2026

GMOA දොස්තරලා පැය 48ක් වර්ජනයේ

දිවයින පුරා රෝහල්වල අද (23) පෙරවරු අටට ඇරඹෙන සංකේත වර්ජනය පැය 48ක් දක්වා පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

වෛද්‍යවරුන්ගේ ඩැට් දීමනා යාවත්කාලීන කිරීම, ප්‍රවාහන සහ පර්යේෂණ දීමනා ගැටලු‍ ඇතුලු‍ ඉල්ලීම් 06ක් විසඳන බවට ලබාදුන් එකඟතා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම වර්ජනය දියත් කරන බවයි එම සංගමය කියා සිටියේ.

කෙසේ වෙතත්, මාතෘ සහ ළමා, වකුගඩු, පිළිකා, ත්‍රිවිධ හමුදා රෝහල් තුළ සහ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ.

එසේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනයට කිසිදු සහයක් නොදක්වන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

මේ අතර, ස්ථානමාරු නියෝග නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කළ වර්ජනය ද අද උදෑසන 08 දක්වා ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, තමන්ට මෙම වර්ජනය පිළිබඳව ලිඛිත දැනුම් දීමක් කර නොමැති බවයි කොළඹ ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටියේ.

Related recommendation
Hiru TV News | Programmes