General11 April 2026

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවීකරණ ව්‍යාපෘතිය නතර වීමේ අවදානමක් - සජිත් ප්‍රේමදාස

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම සඳහා ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය ලබන දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වීමට නියමිත බැවින්, එය අසම්පූර්ණ ව්‍යාපෘතියක් බවට පත්වීමේ දැඩි අවදානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පාර්ලිමේන්තුවේ පැවති ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ කාරක සභා රැස්වීමේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, රටේ පවතින මූල්‍ය තත්ත්වය හමුවේ මෙවැනි ආයෝජන අතිශය වැදගත් බවයි.

විශේෂයෙන්ම නිවැරදි අනාවැකි පළ කිරීම සඳහා 'ඩොප්ලර් රේඩාර්' (Doppler Radar) වැනි නවීන උපකරණ අත්‍යවශ්‍ය බැවින්, මෑතකදී බලපෑ 'දිට්වා' (Ditwa) සුළි කුණාටුව වැනි තත්ත්වයන් පදනම් කරගෙන මෙම ණය සහනය අහෝසි නොකරන ලෙස ලෝක බැංකුවෙන් ලිඛිතව ඉල්ලා සිටිය යුතු බවයි ඔහු අවධාරණය කළේ.

එමෙන්ම 'එල් නිනෝ' සහ 'ලා නිනා' දේශගුණික තත්ත්වයන් හේතුවෙන් මෙරට ආහාර සුරක්ෂිතතාවයට එල්ල විය හැකි බලපෑම පිළිබඳවද විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රශ්න කළා.

ගොවීන්ට නියමිත වේලාවට නව තොරතුරු ලබාදීමේ ක්‍රමවේදයක් පවතීද යන්නත්, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තයක් සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේද යන්නත් ඔහු විමසුවා.

වාරිමාර්ග ජලය භාවිතයේදී පානීය ජලය, වගා කටයුතු සහ විදුලි උත්පාදනය අතරින් රජය ප්‍රමුඛතාව ලබා දෙන්නේ කුමකටද යන්න පැහැදිලි කළ යුතු බවද ඔහු කියා සිටියා.

මැණික් ගඟේ ජල කළමනාකරණය පිළිබඳව අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා ලුණුගම්වෙහෙර වැනි ජලාශවලින් නිකුත් වන ජලය හේතුවෙන් බූන්දල ජල උද්‍යානයේ පරිසර පද්ධතියට සහ ෆ්ලෙමින්ගෝ පක්ෂීන්ගේ පැමිණීමට එල්ල වන බලපෑම පිළිබඳවද බලධාරීන්ගේ අවධානය යොමු කළා.

මෙම රැස්වීම සඳහා පරිසර, වාරිමාර්ග, කෘෂිකර්ම සහ බලශක්ති අමාත්‍යාංශවල නිලධාරීන් මෙන්ම එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක ඇතුළු UNDP, FAO සහ WFP වැනි ජාත්‍යන්තර ආයතනවල නියෝජිතයින් පිරිසක් ද සහභාගී වුණා.
Related recommendation
Hiru TV News | Programmes