General21 April 2026

හිටපු රාජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ චෝදනාව මත නුවරඑළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් සමග හිටපු මන්ත්‍රීවරයා නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් අද (21) මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

හිටපු මන්ත්‍රීවරයා පවුලේ ඥාතීන් සමග නුවරඑළිය ප්‍රදේශයට පැමිණ ඇති බවත් එහිදී අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් නුවරඑළියේ සංචාරයකට පැමිණි පිරිසක් සමග බහින් බස්වීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම බහින් බස්වීම දුරදිග යෑමෙන් පසු ප්‍රේමලාල් ජයසේකර පිස්තෝලයක් පෙන්වා එම පිරිසට තර්ජනය කළ බවට නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

ඒ අනුව නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රවීන්ද්‍ර ප්‍රේමලාල් ඇතුලු නිලධාරින් පිරිසක් හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු සතුව තිබියදී අත්අඩංගුවට ගත් පිස්තෝලයට ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ බලපත්‍රය 2025 වසරෙන් කල් ඉකුත් වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes