General21 April 2026

රිමාන්ඩ් භාරයේ සිටි සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන ලිපිකරුට ඇප

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයට ලබාගත් සත්මහල් ගොඩනැගිල්ලක කුලී මුදල් ගෙවීමේ චෙක්පත් ප්‍රමාදයකින් තොරව ලබාදීමේ කටයුතු කරදීම සඳහා රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගත්තේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන ලිපිකරුවකු වන ආපනශාලා හිමිකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (21) නියෝග කළා.

සැකකරු ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද නියෝග කළා.

අල්ලස් කොමිසම විසින් අමාත්‍යාංශ ආපනශාලා පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගත් බණ්ඩාරගම පදිංචි උක්වත්තගේ ඩග්ලස් නමැති සැකකරුවකු මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ 2018 වර්ෂයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයට කුලියට ලබාගෙන තිබූ තට්ටු හතක ගොඩනැගිල්ලක් සඳහා මාසිකව කුලී මුදල් ගෙවීමේදී රුපියල් කෝටි දෙකක අල්ලසක් චෙක්පත් 7ක් මගින් ලබා ගැනීමේ සැකයට සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.

සැකකරු අදාල අමාත්‍යාංශයේ ප්‍රධාන ලිපිකරුවකු ව සිට විශ්‍රාම ගිය පසුව අමාත්‍යාංශයේ ආපනශාලා හිමිකරු වී ඇති බවද, රුපියල් ලක්ෂ පන්සීයකට ආසන්න වටිනාකමින් යුත් කුලී මුදල් චෙක්පත් පැමිණිලිකරුට ලබාදීමේදී ලක්ෂ විසි පහ බැගින් මෙම අල්ලස් මුදල් ලබාගෙන ඇති බවද කරුණු ඉදිරිපත් කළා.

2023,2024 හා2025 වර්ෂ වලට අදාල එම චෙක්පත් ප්‍රමාදයකින් තොරව ලබාදීමට එක් අවස්ථාවකදී ලක්ෂ විසිපහ ඛැගින් වූ මුදලක් සැකකරුට ලබා දුන් බවට විමර්ශන මගින් කරුණු අනාවරණය වී ඇති බවද කරුණු ඉදිරිපත් කර ඇත. සැකකරු විසින් අදාල චෙක්පත් වෙනත් පුද්ගලයින් හරහා බැංකු මගින් මාරු කරගෙන ඇති බවත්, එම සාක්ෂිකාර පුද්ගලයින්ට සැකකරුගෙන් බලපෑම් ඇති විය හැකි බැවින් විමර්ශන අවසන් වන තෙක් බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා විසින් කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුව මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes