General21 April 2026

කපුවාගේ බැංකු ගිණුම් පිරික්සයි

රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන 'ලොකු පැටී' නමැත්තාගේ මුදල් කටයුතු පාලනය කළ බව කියන ගන්දර ප්‍රදේශයේ කපු මහතෙකු වන දිනේෂ් කුමාර නමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග .එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහි දී එම දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්
අදාල සැකකාර කපු මහතාගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 30 අධික මුදලක් සංසරණය වී ඇතැයි මෙතෙක් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන බව සඳහන් කළා.

මෙම සැකකරු ලොකු පැටී එක්ව සමීප සම්බන්ධතා පවත්වා තිබෙන බවත් ලොකු පැටී නමැත්තා නීති විරෝධී ආකාරයට උපයා ගන්නා මුදල් විශුද්ධිකරණය කිරීමේ කටයුතු මෙම සැකකරු විසින් සිදුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය පැවසුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා ඉදිරියේදී ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයට නියම කළා.
Related recommendation
Hiru TV News | Programmes