General29 April 2026

තරුණ සැමියාට දිවි එපා කරවූ බිරිඳකට ඇප

විසි හැවිරිදි සිය තරුණ සැමියාට සියදිවි හානි කර ගැනීමට අධාර අනුබල දීමේ චෝදනාව යටතේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද දහනව හැවිරිදි තරුණ බිරිඳ රුපියල් භත් දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප 03 ක් මත මුදා හැරීමට මහර අංක 02 අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ නියෝග කර තිබෙනවා.
 
සැකකාරියට ඇප තබන එම ඇපකරුවන්ගේ පදිංචිය තහවුරු කළ යුතු බවට ද අධිකරණයෙන් නියෝග නිකුත් කෙරුණා.

මෙලෙස ඇප මත මුදා හැරුණේ ගිරිතලේ, පුරාණගම, නිශ්ශංකමල්ල මාවත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණ කාන්තාවක්.

මෙහිදි සියදිවි හානි කර ගෙන ඇත්තේ මහියංගනය , මාපාකඩවැව , කෙසෙල්පොත ප්‍රදේශයේ පදිංචිව සිටි බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පුද්ගලික ආයතනයක සේවය කළ යු. ජී. අරුණ දිල්ශාන් නමැති විසි හැවිරිදි තරුණ විවාහකයෙක්.

එහිදි බියගම පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් ඩග්ලස් (48947) විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කියා සිටියා.

“ ස්වාමිණී, මේ තරුණ අඹුසැමි යුවලේ සැමියා මහියංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙනවා. බිරිඳ ගිරිතලේ ප්‍රදේශයේ පදිංචිකාරියක් වෙනවා. මේ දෙදෙනාම බියගම නිදහස් වෙළෙඳ කලාපයේ එකම ආයතනයක රැකියාව කරනවා. ඒ නිසා ඔවුන් වඩුවේගම ප්‍රදේශයේ කාමරයක නවාතැන් ගෙන රැකියාවට ගොස් තිබුණා.

මෙවර සිංහල අලුත් අවුරුදු නිවාඩුවට මේ දෙදෙනා බිරිඳගේ ගම වන ගිරිතලේ ට ගොස් තිබෙනවා. එහි යාමෙන් පසුව සැමියා සිය ගම වන මහියංගනයට යාමට බිරිඳ ට කතා කර තිබෙනවා. ඒ අවස්ථාවේ බිරිඳ පසුදින එන්නම් කියලා සැමියාට කියා තිබෙනවා. පසුව සැමියා මහියංගනයට ගොස් තිබෙනවා. නමුත් බිරිඳ ගිහින් නැහැ. ඉන්පසුව සැමියා ඉකුත් 19 වැනිදා රැකියාවට යාම සදහා නවාතැන් ගෙන සිටින වඩුවේගම කාමරයට ආවා. එහාට බිරිඳ එනවා කීවාට ඇවිත් සිට නෑ.

පසුව බිරිඳ සිය ජංගම දුරකථනයෙන් "ටික්ටොක්" ගිණුම හරහා වෙනත් තරුණයෙකු සමග තුරුලු වී සිටින ජායාරූපයක් සැමියාගේ ජංගම දුරකථනයට එවමින් ‘ඔයා මට එපා. මට කෙනෙක් සිටින’ බවට පවසා තිබෙනවා. ඒ ගැන සිත් තැවුලට පත් මේ තරුණයා කාමරයේ ගෙල වැළලා ගෙන එල්ලී සියදිවි හානි කර කර ගෙන තිබෙනවා.

මෙය සියදිවි හානි කර ගැනීමක් බවට මරණ පරික්ෂණය පැවැත්වු බියගම හදිසි මරණ පරික්ෂක වෛද්‍ය හර්ෂජිත් ගුණසේකර විසින් නිගමනය කළා. එහිදි බිරිඳ සැමියාගේ මෘත දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කළා. පසුව මෘත දේහය සැමියාගේ මවට භාර දුන්නා. ඇය විසින් මෘත දේහය වැලිවේරිය පොදු සුසාන භුමියේ මිහිදන් කළා.

මේ සම්බන්ධව මුලික විමර්ශනයේදී අනාවරණය වුයේ බිරිඳ විසින් "ටික්ටොක්" හරහා අනියම් පුරුෂයෙකු සමග එකට ගන්නා ලද ජායාරූපය එවීමෙන් සැමියා සිත් තැවුලට පත්ව සියදිවි හානි කර ගෙන තිබෙන බවටයි. ඒ නිසා මෙය අන්‍ය ආකාරයකින් දිවි හානිකර ගැනීමට අනුබල දීමක් වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා දණ්ඩ නීතී සංග්‍රහයේ 299 වගන්තිය යටතේ සියදිවි හානි කර ගැනීමට අනුබල දීමක් වෙනවා. එබැවින් බිරිඳ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා.”

එහිදි ඉදිරිපත් වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් බිරිඳ මුදල් හා ශරීර ඇප මත මුදා හරිනු ලැබුවා.
එහි වැඩිදුර විභාගය ලබන ජුලි මස 21 වන දිනට කල් තැබුණා.

බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රභාත් පරණවිතානගේ උපදෙස් අනුව අත් අඩංගුවට ගත් තරුණ කාන්තාව එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් ඩග්ලස් (48947) හා පොලිස් කොස්තාපල් සුපුන් (103656) යන නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළා.
Related recommendation
Hiru TV News | Programmes