General08 May 2026

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත සිව්දෙනෙකුට එරෙහිව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය (BCB) ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ක්‍රීඩාවේ අභිමානය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස චැටග්‍රෑම් රෝයල්ස් (Chattogram Royals) කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සමිනුර් රහ්මාන් හට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් පනවා ඇති අතර, තවත් සිව්දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බවයි වාර්තා වෙන්නේ.

තරඟ පාවාදීම්වලට සම්බන්ධ වීම, පරීක්ෂණ සඳහා සහාය නොදැක්වීම, අදාළ සන්නිවේදන තොරතුරු සැඟවීම සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්ධන ඒකකයට බාධා කිරීම යන චෝදනා මත ක්‍රිකට් ක්‍රීඩක අමිත් මජුම්දාර්, කණ්ඩායම් කළමනාකරුවන් වන ලැබ්ලුර් රහ්මාන් සහ රෙස්වාන් කබීර් සිද්ධික් මෙන්ම 'නෝවාකාලි එක්ස්ප්‍රස්' (Noakhali Express) සම-හිමිකරු තව්හිදුල් හක් යන අයට මෙලෙස චෝදනා එල්ල වී තිබෙනවා.

"චෝදනා ලැබූ පුද්ගලයන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇති අතර, චෝදනා පත්‍රය ලැබී දින 14ක් ඇතුළත ඊට ප්‍රතිචාර දැක්වීමට ඔවුන්ට අවස්ථාව තිබේ," යැයි BCB නිවේදනයේ සඳහන්.

මේ අතර, 2025-26 BPL තරඟවාරයේදී චැටග්‍රෑම් කණ්ඩායම නියෝජනය කළ සමිනුර් රහ්මාන්, දිගුකාලීනව දූෂිත ක්‍රියාවල නිරත වූ බවට ලැබුණු නොබිඳිය හැකි සාක්ෂි මත පදනම්ව ජීවිතාන්තය දක්වා ක්‍රිකට් පිටියෙන් තහනම් කර තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අඛණ්ඩතා ඒකකයේ ස්වාධීන සභාපති ඇලෙක්ස් මාර්ෂල් පවසා ඇත්තේ මෙවැනි අදහසක්.

"එක් පුද්ගලයෙකු 'පිටුවහල් කළ පුද්ගලයෙකු' (Excluded Person) ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව ඔහුට ලොව පුරා කිසිදු ක්‍රිකට් ක්‍රියාකාරකමකට සම්බන්ධ විය නොහැක. තරඟ පාවාදීම් සහ විදේශීය ඔට්ටුකරුවන් සමඟ සිදුකළ මුදල් ගනුදෙනු ඇතුළු දිගුකාලීන දූෂණ ක්‍රියා පිළිබඳ සාක්ෂි හමුවීම මත මෙම තීරණය ගත්තා. ඉදිරි සති සහ මාස කිහිපය තුළ තවත් චෝදනා එල්ල වීමට ඉඩ තිබේ."
Related recommendation
Hiru TV News | Programmes