General27 May 2026

ප්‍රදේශ රැසකට අදත් මි. මී 75ට වඩා තද වැසි

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති බැවින්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශ වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි. මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන්.

එසේම ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු - මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

තවද, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Related recommendation
Hiru TV News | Programmes