General01 June 2026

මාරක රිය අනතුරු දෙකකින් පොලිස් සැරයන්වරයෙක් සහ තරුණයෙක් ජීවිතක්ෂයට

බුත්තල සහ පේරාදෙණිය පොලිස් වසම් තුළ සිදුවූ දරුණු රිය අනතුරු දෙකකින් පොලිස් සැරයන්වරයෙකු සහ 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ‍පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

බුත්තල පොලිස් වසමේ යටියල්ලාතොට මාර්ගයේදී ඊයේ (31) සවස යතුරුපැදි දෙකක් එකිනෙකට මුහුණට මුහුණ ලා සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා බුත්තල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මිය‍ගොස් තිබුණා.

මෙලෙස යගොස් ඇත්තේ උඩාරාව ප්‍රදේශයේ පදිංචිව සිටි, ගෝණගංආර පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි 54 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්.

පොලිස් සැරයන්වරයා පැදවූ යතුරුපැදියට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි අනෙක් යතුරුපැදිය මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබුණා.

අනෙක් යතුරුපැදියේ පැදිකරු අනතුර සිදුවන අවස්ථාවේදී බීමත්ව සිට ඇති බවට මූලික විමර්ශණවලින් හෙළිවූ බව පොලිසිය පවසනවා.

මේ අතර අද (01) අලුයම පේරාදෙණිය පොලිස් වසමේ ගන්නෝරුව - කටුගස්තොට මාර්ගයේදී තවත් මාරක අනතුරක් සිදුව තිබුණා.

පේරාදෙණිය දෙසට ධාවනය වූ ලොරි රථයක, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

එහිදී බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යටියන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙක්.

මෙම අනතුරු දෙක සම්බන්ධයෙන් බුත්තල සහ පේරාදෙණිය පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.
Related recommendation
Hiru TV News | Programmes