International04 June 2026

හිස්බුල්ලා ප්‍රහාර නවත්වන්නේ නම් සටන් විරාමයකට යන්න ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

ඊශ්‍රායලය සහ ලෙබනනය සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් නිකුත් කරමින් නිවේදනය කර තිබෙනවා.

මෙම ගිවිසුම ක්‍රියාත්මක වීම, අනෙකුත් කොන්දේසි මධ්‍යයේ ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම විසින් එල්ල කරන ප්‍රහාර "සම්පූර්ණයෙන්ම නැවැත්වීම" මත රඳා පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේදී ප්‍රථමයෙන් එකඟ වූ, එහෙත් ස්ථාවර නොවූ සටන් විරාමය අභියෝගයට ලක් කරමින් බදාදා දිනයේදී දකුණු ලෙබනනයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් නව දෙනෙකු මියයෑම සහ හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුවයි මෙම නිවේදනය නිකුත් වුණේ.

මෙම ගිවිසුම ක්‍රියාත්මක වීමට නම් ලෙබනන්-ඊශ්‍රායල සීමාවේ සිට ලිටානි (Litani) ගඟ දක්වා ඊශ්‍රායල පාලනය යටතේ පවතින දකුණු ලෙබනන කලාපයෙන් "සියලුම හිස්බුල්ලා ක්‍රියාකාරීන් ඉවත් විය යුතු" බවටද කොන්දේසියක් පනවා තිබෙනවා.

ලෙබනන් සන්නද්ධ බලකායන් විසින් පමණක් සුවිශේෂී ලෙස පාලනය කරනු ලබන සහ අනෙකුත් රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් මුළුමනින්ම ඉවත් කළ "පයලට් කලාප" (Pilot zones) නිර්මාණය කිරීමට අමෙරිකාව මග පෙන්වන බවද එම ප්‍රකාශයේ දැක්වෙන බවයි BBC පුවත් සේවය සඳහන් කරන්නේ.

මෙම නිවේදනය නිකුත් වූයේ සඳුදා දින එකඟ වූ අර්ධ සටන් විරාමයකින් පසුවයි.

එමගින් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල නොකර සිටීමට හිලව් වශයෙන් ඊශ්‍රායලය බීරූට් (Beirut) නුවරට බෝම්බ හෙලීමෙන් වැළකී සිටිනු ඇති බව ලෙබනනය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ (Marco Rubio) මෙම නිවේදනයට පෙර මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, හිස්බුල්ලා සංවිධානයෙන් ස්වායත්ත වූ, ලෙබනනයේ ආරක්ෂාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් මෙමගින් බිහිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

මෙම අර්ධ සටන් විරාමය මේ සතියේදී ඊශ්‍රායල සහ හිස්බුල්ලා ප්‍රහාර දෙකෙන්ම පරීක්ෂාවට ලක්ව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes