General04 June 2026

යෝෂිතට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව ජුලි 09 වැනිදා දක්වා කල් තැබෙයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුව යළි ජුලි මස 09 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ විත්තිකරු විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් ඊයේ අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එය ජුනි මස 16 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළ බවයි.

එදින තෙක් මෙම නඩුවේ සාක්ෂි මෙහෙයවීම නොකරන බවට පැමිණිල්ල විසින් අභියාචනාධිකරණයට දැනුම් දී ඇති බවත්, ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි කැඳවීමකින් තොරව නඩුව කල් තබන ලෙසත්, ඔහු අධිකරණයට ඉල්ලා සිටියා.

ඒ අනුව අභියාචනාධිකරණයේ තීරණය ලැබෙන තෙක් මෙම නඩුව ජුලි මස 09 වැනිදා දක්වා කල් තැබීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නියම කළා.

රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂට විරුද්ධව මෙම නඩුව ගොනු කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes