General04 June 2026

සංස්කරණය කළ වීඩියෝවකින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කළ අයෙක් රිමාන්ඩ්

චාවකච්චේරිය පොලිස් වසමේ නාවක්කුලි ප්‍රදේශයේ ඉකුත් (31) වැනිදා පැවති සංගීත සංදර්ශනයකදී, තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ප්‍රවර්ධනය වන අයුරින් ගීත ගායනා කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

මෙම සිද්ධියට අදාළව, කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු ඉකුත් (02) වැනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවද පොලිස් මූලස්ථානය පවසනවා.

සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ සංගීත ප්‍රසංගයේදී ගායනා කරන ලද ගීත දෙකක් මෙම සැකකරු විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමක එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය වන පරිදි සංස්කරණය කර ඇති බවයි.

ඔහු විසින්ම එම ගීතවලට හඬ කවා, සිය සමාජ මාධ්‍ය ගිණුමට උඩුගත කර (Upload) ප්‍රචාරය වීමට ඉඩ සලස්වා ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.

මෙම ක්‍රියාව 1978 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 3 (උ) වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් වන බැවින්, සැකකරු ඊයේ (03) චාවකච්චේරිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන (17) වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවත් පොලිසිය පවසනවා.

මේ අතර, මෙම සිද්ධිය මුල් කරගනිමින් "සංගීත ප්‍රසංග හා විනෝදාස්වාදය ඇතුළු ගීත ගායනා සඳහා පොලිසියෙන් ඉඩක් නැත" යනුවෙන් ඇතැම් සමාජ මාධ්‍ය හරහා පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නිවැරදි නොවන පුවතක් බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කර සිටිනවා.

එබැවින්, දිවයින තුළ බලපැවැත්වෙන මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම අනෙකුත් නීති රෙගුලාසි සම්බන්ධයෙන් ද නිසි අවබෝධයකින් යුතුව ක්‍රියා කිරීම සෑම පුරවැසියෙකුගේම වගකීමක් සහ යුතුකමක් බව ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව වෙත නිවේදනයක් මගින් දැනුම් දී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes