General05 June 2026

දේශසීමා සන්නිවේදන වංචා සහ සූදුව මර්දනයට ශ්‍රී ලංකාව සහ චීනය එක්වෙයි: දැඩි පියවර රැසක්

මෑත කාලයේදී ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන දේශසීමා සන්නිවේදන වංචා (Telecom Fraud) සහ අන්තර්ජාලය හරහා සිදු කෙරෙන නීතිවිරෝධී සූදු ව්‍යාපාර මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ චීනය එක්ව ඒකාබද්ධ මෙහෙයුම් සහ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

විශේෂයෙන්ම නැගෙනහිර සහ අග්නිදිග ආසියානු කලාපීය සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්, ශ්‍රී ලංකාව වැනි "වඩාත් දුරස්ථ සහ පහසුවෙන් ඉලක්ක කළ හැකි" රටවල් වෙත තම සාපරාධී ජාලයන් ව්‍යාප්ත කිරීමට උත්සාහ කරමින් සිටින බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම තත්ත්වය හමුවේ මෙරට තුළ ක්‍රියාත්මක වන සන්නිවේදන වංචා කේන්ද්‍රස්ථාන, නීතිවිරෝධී සූදු පොළවල් සහ රහසිගත බැංකු ජාලයන් මර්දනය කිරීම සඳහා චීන තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, මුදල් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ සමඟ සමීප සන්නිවේදනයක් පවත්වාගෙන යනු ලබනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ ලංකාවේ ආරක්ෂක අංශ සහ ආගමන විගමන බලධාරීන් විසින් වැටලීම් කිහිපයක් සිදු කරමින් විදේශිකයන් රැසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, වංචනික ක්‍රියාවලට සම්බන්ධ චීන ජාතිකයන් පිරිසක් ද චීන බලධාරීන් වෙත භාර දී තිබෙනවා.

ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු බලධාරීන් ඉටු කළ මෙම කාර්යභාරය චීන රජයේ දැඩි ඇගයීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අන්තර්ජාල සූදුව සම්බන්ධයෙන් චීන රජයේ ස්ථාවරය ඉතා පැහැදිලි වන අතර චීන ප්‍රාග්ධනය විදේශීය කැසිනෝ සඳහා ආයෝජනය කිරීම සහ චීන පුරවැසියන් ඊට දායක කරගැනීම චීන අපරාධ නීතිය යටතේ සපුරා තහනම් කර තිබෙනවා.

මෙවැනි වංචනික ක්‍රියා නිසා චීන පුරවැසියන් විශාල පිරිසකට දේපළ මෙන්ම ජීවිත ද අහිමි වී ඇති අතර, මිනිස් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණය වැනි බරපතළ අපරාධ ද මීට සමගාමීව වර්ධනය වී තිබෙනවා.

මෙම නීතිවිරෝධී ක්‍රියා මඟින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට, මහජන ආරක්ෂාවට සහ සමාජ ස්ථාවරත්වයට එල්ල වන දැඩි බලපෑම වැළැක්වීම සඳහා දෙරටේම නීතිය බලාත්මක කිරීමේ ආයතන ඉදිරියටත් දැඩි කැපවීමෙන් කටයුතු කිරීමට සූදානම්.

එමෙන්ම ජාත්‍යන්තර සන්නිවේදන වංචාවලට එරෙහිව ගෝලීය සන්ධානයක් (Inteational Alliance) ගොඩනැගීමට ද චීනය මේ වන විට යෝජනා කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes