General06 June 2026

බොරැල්ලේ හොර කච්චේරියක් වටලයි: හොර සීල් තොගයක් මාට්ටු

ව්‍යාජ ලිපි ලේඛන ජාතික හැඳුනුම්පත් හා වාහන අංක තහඩු සැකසූ මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයන් තිදෙනෙකු මුදල් සමග ඊයේ (05) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

බොරැල්ල එන්. එම්. පෙරේරා මාවතේ නිවසක් කුලියට ලබාගෙන කාලයක් තිස්සේ ඉතා රහසිගතව මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහි තිබී ව්‍යාජ නිල මුද්‍රා 600ක්, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඔප්පු පිටපත්ව ඇති මුල් ගොනු 2ක්, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් 4 ක්, ව්‍යාජ ලේඛන සකස් කිරීම සඳහා යොදාගත් විද්‍යුත් උපකරණ, ටයිප් රයිටර්, මෝටර් රථයක්, යතුරුපැදියක් සමග රුපියල් ලක්ෂ 15 ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම නිල මුද්‍රා අතර රජයේ ප්‍රධාන පෙලේ දෙපාර්තමේන්තුවල නිල මුද්‍රා, සාමාදාන විනිශ්චකාර, නොතාරිස්, නීතීඥ හා විවිධ තනතුරු දරන්නන්ගේ නිල මුද්‍රා තිබූ බව පොලිසිය පවසන්නේ.

පොලිස් නිලධාරීන් එම ස්ථානය වටලන අවස්ථාවේදී සිටි සැකකරුවන් දෙදෙනකු සහ ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු මත නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 54, 55, හා 59අතර පසුවන බොරැල්ල දික්වැල්ල සහ හොරණ පදිංචිකරුවන් බවයි සඳහන්.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Related recommendation
Hiru TV News | Programmes