General06 June 2026

හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න: පස් දෙනෙකුගේ මරණ පරීක්ෂණ අවසන්

විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටියන් ඇතුළු පිරිසක් රැඳී සිටි හොරණ බටගොඩ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ ගින්නට හසුව මියගිය 13 දෙනාගෙන් පස් දෙනෙකුගේ මරණ පරීක්ෂණ මේ වන විට සිදුකර තිබෙනවා.

එමෙන්ම, මියගිය තවත් දෙදෙනෙකුගේ පවුල්වල ඥාතීන් ඉදිරිපත්ව ඇති බැවින් ඔවුන්ගේ ද මරණ පරීක්ෂණ අද සිදුකරන බවයි හොරණ මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මරණ පරීක්ෂණ සිදුකරන ලද මළ සිරුරු දෙකක් ඔවුන්ගේ ඥාතීන් විසින් අවසන් කටයුතු සිදුකිරීම සඳහා රැගෙන ගොස් ඇති අතර එලෙස භාර නොගත් මරණ පරීක්ෂණ අවසන් කරන ලද සිරුරුවල අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකිරීමට නියමිතයි.

කෙසේ වෙතත් හොරණ මූලික රෝහලේ වසර 4 ක පමණ කාලයක සිට මළ සිරුරු තැන්පත් කිරීමට අවශ්‍ය ශීතාගාර පහසුකම් නොමැතිවීම හේතුවෙන් ඥාතීන් විසින් භාරනොගන්නා මළ සිරුරු කළුතර, නාගොඩ රෝහල වෙත මාරු කර යැවීමට සැලසුම් කර තිබෙනවා.

පසුගිය තුන්වැනිදා වැඩිහිටි නිවාසයේ ගින්නෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 6 දෙනෙකු තවදුරටත් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes