General16 June 2026

මාලිමා ආණ්ඩුව නිසා අද ජනතාවට තුන්වේල කන්න බැරි තත්ත්වයක් උදාවෙලා - නාමල් රාජපක්ෂ

"පෝසත් රටක්" හැදීමේ පොරොන්දුව පිට බලයට පැමිණි මාලිමා ආණ්ඩුව යටතේ අද වන විට රටේ ජනතාවට තුන්වේල කන්න බැරි තත්ත්වයක් උදාවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අම්පාර හිඟුරාණ ප්‍රදේශයේ ඊයේ (15) පැවැති එම පක්ෂයේ කොට්ඨාශ රැස්වීමක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ කියා සිටියේ, වත්මන් පාලනය යටතේ ජනතාව හිටපු තැනින් පහළට වැටී එදා වේල පිරිමසා ගැනීමට නොහැකිව පසුවන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේද පැවසුවා.

“එදා ගොවියා සතුටින් ගොවිතැන් කළා. වීවලට සහතික මිලක් දුන්නා. පොහොර රුපියල් 350 ගානේ අවුරුදු දහයක් දුන්නා. නොමිලේ අවුරුදු දෙකක් දුන්නා. අද වෙලා තියෙන්නේ මොකක්ද වීවලට සහතික මිලක් නැහැ. පිටරටින් හාල් ගේනවා. බඩ ඉරිඟු පිටරටින් ගේනවා. අද වෙනවිට වී ගොවියා බඩ ඉරිඟු ගොවියා අන්ත අසරණ තත්වයට පත්වෙලා. පොහොර මිටිය රුපියල් 19000 වෙලා.

මෙතැන එහා පැත්තේ තියෙන හිගුරාණ සිනි කර්මාන්ත ශාලාව අවුරුදු 15 ක් වහල දාල තිබිලා අපි තමයි ආරම්භ කළේ. ඒ දවස්වල මේ ආයතනය ලාභ ලැබුවා. සේවකයින් ගොවින්ට බෝනස් දුන්නා. අද වෙලා තියෙන්නේ මොකක්ද අද සේවකයින්ට බෝනස් නැහැ. මේ ආයතනයේ සිනි ටික විකුනන්න බැහැ. තමන්ගේ හිතවතුන්ට කියලා පිටරටින් සිනි ගේනවා. ස්ප්‍රිතු විකුන්න බැහැ. ආයතනය දුවන්නේ පාඩු පිට. මේ රජය මේ ආයතන ගැන හිතන්නේ නැහැ.

පිටරටවල්වල තෙල්මිල අඩු කරනවා. අපේ ආණ්ඩුව තෙල්මිල වැඩි කරනවා. තමන්ගේ වංචාව දුෂණය වහන්න ඒක ජනතාව පිටින් යවනවා. බාල ගල්අගුරු ගෙනාවා. එක් නැවක් නෙවෙයි නැව් ගනනාවක් ගෙනාවා. බාල ගල්අගුරු වහ ගන්න ගෙනාපු නැව්ත් බාල වෙලා. වැරැදි ගිණුම්වලට සල්ලි ගෙවනවා. ඊට පස්සේ ආණ්ඩුව කියනවා හැකර් කෙනෙක් පැන්නලු. මුදල් අමාත්‍යංශයේ ලේකම් වගකියන්න ඖනේ මුදල් ඇමතිවරයා සමග. මුදල් ඇමතිවරයා වර්ථමාන ජනාධිපතිවරයා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට අපේ රට ගොඩ නගන්න දැක්මක් තියෙනවා. අපි සැළසුමකට මෙම රට ගොඩ නගන්න තරුණ ජවය සමග සුදානම්.”

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය තිලක් රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩබ්. ඩී. විරසිංහ , දමන ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති වර්ථමාන මන්ත්‍රි මංගල මහින්ද ගුනවර්ධන මෙම අවස්ථාවේ අදහස් දැක්වුවා. පොදු ජන පෙරමුණෙ මෙහෙයුම් අධ්‍යක්ෂ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු අමාත්‍ය ඉන්දික අනුරුද්ධ යන අයද මෙම අවස්ථාවට එක්ව සිටියා.
Related recommendation
Hiru TV News | Programmes